අද සිට දොස්තරලා වැඩ වරති – ඉල්ලීම් 7කට විසඳුම් ඕනෑ

263

ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් දිවයින පුරා රෝහල්වලදී අද (21 දා) පෙ.ව. 8.00 සිට අඛණ්ඩ වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමය තීරණය කර ඇත.

ඊයේ (20 දා) රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේදී ඒකමතිකව මෙම තීරණයට එළැඹී බව එම සංගමය සඳහන් කරයි.

වෛද්‍යවරුන්ගේ මාරු මණ්ඩලවල අනුමැතියෙන් තොරව සෞඛ්‍ය අමාත්‍යාංශය අත්තනෝමතිකව වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ දිවයිනේ දිස්ති‍්‍රක්ක 5 ක සංකේත වැඩවර්ජනයක ද නිරත විය.

නීත්‍යනුකූල වෛද්‍ය මාරු මණ්ඩලවල අනුමැතියෙන් තොරව විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුයුක්ත කිරීම, නීත්‍යනුකූල වෛද්‍ය මාරු මණ්ඩලවල අනුමැතියෙන් තොරව ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ අනුයුක්ත කිරීම්, 2022 වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව ප‍්‍රකාශයට පත් නොකිරීම, රාජිත සේනාරත්න වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ නිවැරදි ක‍්‍රමවේදයෙන් තොරව සිදුකළ කාරණා නිවැරදි කිරීමට ලබාදුන් කැබිනට් අනුමැතිය කි‍්‍රයාත්මක නොකිරීම, ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ නිලවරණයට අදාළ ගැසට්පත‍්‍රය නිකුත් නොකිරීම, ජාතික වැටුප් ප‍්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම සහ සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ලිපි ශීර්ෂය භාවිත කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ කාණ්ඩ අතර ගැටලූ ඇති වන ලෙස වැටුප් සම්බන්ධ ප‍්‍රතිපත්ති උල්ලංඝනය කිරීම යන ගැටලූ සඳහා වහාම විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වෛද්‍ය වර්ජනය දීප ව්‍යාප්තව පැවැත්වීමට එම සංගමය තීරණය කර ඇත.

සිය ඉල්ලීම්වලට පිළිගත හැකි විසඳුම් ලබාදෙන තෙක් මෙම වර්ජනය කි‍්‍රයාත්මක කරන බවත්, හදිසි අනතුරු සේවාවන්, මාතෘ රෝහල් සේවාවන්, ළමා රෝහල්, පිළිකා රෝහල් සේවාවන්, වකුගඩු ප‍්‍රතිකාර සහ කොවිඞ් සම්බන්ධ සේවාවන් වෙනුවෙන් පමණක් තම සංගමයේ වෛද්‍යවරුන් සුපුරුදු ලෙස සේවාවන් සපයන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතා ‘දිවයින’ට ඊයේ (20 දා) පැවසීය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment