අද සිට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට පාරවල් වසා බාධා කරන්න එපා

70

– විභාග කොමසාරිස් ජනරාල් ඉල්ලයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (2021) පැවැත්වෙන වකවානුවේ මාර්ග අවහිර කිරීම්, විරෝධතා පැවැත්වීමෙන් සිසුන්ට බාධා පැමිණිය හැකි නිසා ඉන් හැකිතාක් වැළකී සිටින ලෙස විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී. දෙමාපියෝද එම ඉල්ලීම කරති.

විභාගය අද (23දා) ආරම්භ වී ජුනි 01 වැනිදා දක්වා පැවැත්වේ. මෙම විභාගය පසුගිය වසරේ (2021) දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබුණත් කොරෝනා වසංගතය හේතුවෙන් කල්දැමීම නිසා අද ආරම්භ කරන බවද ඒ මහතා කීය.

විභාගය පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ලිපිද්‍රව්‍ය අවශ්‍ය ස්ථාන වෙත ප්‍රවාහනය කර අවසන් බවත්, විභාගය දිනපතා පෙරවරු 8.30 ට ආරම්භ වී විවිධ විෂයන් අනුව ප.ව. 2.00, ප.ව. 4.00 පමණ වන විට අවසන් වීමට නියමිත නිසා සිසුන්ට විභාගයට මුහුණදී බාධාවකින් තොරව නිවසට යෑමට අවස්ථාව සලසාදිය යුතු බවත් ධර්මසේන මහතා අවධාරණය කරයි.

ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා දුම්රිය, ලංගම, පෞද්ගලික බස් රථ සහය ලබාදෙන බව ප්‍රකාශ කර තිබෙන බවත්, ඊට අමතරව විභාග කාර්ය මණ්ඩලය ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝවලින් ඉන්ධන ලබාගැනීමට ඉඩ සලසාදී ඇති බවත් කී ඒ මහතා එම කාර්ය කර ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත, විභාග නිරීක්‍ෂණ ලිපිය ඉදිරිපත් කළ යුතු බවද කීය.

සිසුහු 5,17,496 ක් විභාගයට පෙනී සිටිති. පාසල් අයැදුම්කරුවෝ 4,07,129 ක් හා පෞද්ගලික අයැදුම්කරුවෝ 1,10,367 ක් දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3844 කදී විභාගය සඳහා පෙනී සිටිති.

කොවිඩ් ආසාදිත සිසුන් වෙනුවෙන් විභාග මධ්‍යස්ථානයේ විශේෂ කාමරයක් සකස් කර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment