අද හෙටම කැබිනට් වෙනසක්

489

* අගමැති පදවියේ වෙනස අසත්‍යයක් – අගමැති මාධ්‍ය අංශය

*  ප‍්‍රබල ඇමැතිවරුන් වෙනුවට නවක මුහුණු

* රාජ්‍ය ඇමැති 4ක් කැබිනට් ඇමැති ධුරයට


ඉදිරි දින කීපය තුළදී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ස්ථිර වශයෙන්ම සිදුකරන බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සනාථ කළේය.

රාජ්‍ය අමාත්‍යවරුන් සිව්දෙනෙකු කැබිනට් අමාත්‍යවරුන් ලෙස පත්කිරීමට නියමිතව ඇති බවද සඳහන් වෙයි.

පසුගිය දිනවලදී විවාදාත්මක සිදුවීම්වලට සම්බන්ධ වී සිටි ඇමැතිවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ අමාත්‍යාංශ බොහෝ දුරට සංශෝධනය කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

එහෙත් ආණ්ඩුවේ ස්ථාවරය පවත්වාගෙන යෑම සඳහා මෙම අමාත්‍යවරුන්ට වෙනත් අමාත්‍යාංශ ලබාදීමට අවධානය යොමු වී ඇති බවද දේශපාලන ආරංචි මාර්ග කියා සිටියි.

ව්‍යවස්ථාවට අනුව කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුට සීමාවිය යුතුය. මේ වනවිට කැබිනට් මණ්ඩලය ඇමැතිවරුන් 29 දෙනෙකුගෙන් සමන්විත වෙයි. ඒ අනුව කැබිනට් මණ්ඩලයට තවත් එක් ඇමැතිවරයෙකු පමණක් ඇතුළත් කිරීමට අවස්ථාව ඇති බව ආරංචි මාර්ග පවසයි.

මේ නිසා කැබිනට් අමාත්‍යධූර ලබාදීමටත් දැනට කැබිනට් මණ්ඩලයේ සිටින අමාත්‍යවරුන් කීපදෙනෙකු ඉන් ඉවත්කිරීමට කටයුතු කළ යුතුව ඇතැයි ආරංචි මාර්ග පවසයි. මේ හේතුව නිසා කැබිනට් මණ්ඩලයේ දැනට සිටින ප‍්‍රබල අමාත්‍යවරුන් කීපදෙනෙකු ඉන් ඉවත්කර ඊට නවක මුහුණු ඇතුළත් කිරීමට අවධානය යොමු වී ඇත.

මේ අතර අග‍්‍රාමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව සිටින බවට ඊයේ පැතිර ගිය කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අග‍්‍රමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

මහින්ද රාජපක්‍ෂ මහතා සිය ධූරයෙන් ඉවත් වී බැසිල් රාජපක්‍ෂ මහතා ඒ සඳහා පත්කිරීමට නියමිත බවට ඊයේ පැතිර ගිය ආරංචි අගමැති කාර්යාලය ප‍්‍රතික්‍ෂේප කළේය.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරුන් කීපදෙනෙකුම ඊයේ කියා සිටියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත කැබිනට් අමාත්‍ය සංශෝධනයෙන් පසු තමන්ට කැබිනට් අමාත්‍යධූර හිමිවන්නට නියමිත බවයි.

මීට සමගාමීව ඊට පෙර අමාත්‍යාංශවල ලේකම්වරු ඇතුළු ඉහළ පුටු වෙනසක් කිරීමටද නියමිත බවද සඳහන් වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment