අධ්‍යාපන අමාත්‍යාංශයට එච්. එස්. සරත් දුන් චිත්‍රය කවුරු හරි ගෙදර ගෙනිහින් – ජනපති කියයි

232

ලබන වසරට යෙදෙන 75 වැනි නිදහස් දින සංවත්සරය වෙනුවෙන් මෙරට අභිමානය විදහා දැක්වෙන දැවැන්ත චිත්‍ර තරගයක් සහ ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමට අපේක්‍ෂා කරන බවත්, මෙරට දක්‍ෂ චිත්‍ර ශිල්පීන් සියලුදෙනා ඊට දායක කර ගන්නා අතරම නවක චිත්‍ර ශිල්පීන්ට ද තම දක්‍ෂතා එළිදැක්වීමට එය මහඟු අවස්ථාවක් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ ලයනල් වෙන්ඩ්ට්

කලාගාරයේ පැවැති ප්‍රවීණ චිත්‍ර ශිල්පී එච්. එස්. සරත් මහතාගේ 50 වැනි ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චිත්‍ර ප්‍රදර්ශනය නරඹන අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි පාසල් දැරියන් දෙදෙනකු විසින් මෙරට අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතු ආකාරය පිළිබඳ සම්පාදනය කරන ලද සැලැස්මක් ද ඔහුට පිළිගන්වනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

එච්. එස්. සරත් මහතා සමග මගේ සම්බන්ධය දශක හතරකට වැඩි කාලයක් වෙනවා. මා යෞවන කටයුතු හා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ මෙතුමාගේ චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමට සහභාගි වුණා. ඒ වගේම යෞවන කටයුතු හා අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩවලටත් ඔහුව සහභාගි කරවා ගත්තා. චිත්‍ර කලාව පිළිබඳ එතුමාගේ ඇති දක්‍ෂතාව ඒ තුළින් හඳුනාගැනීමට මට අවස්ථාව ලැබුණා.

අධ්‍යාපන අමාත්‍යාංශය ඉසුරුපායට ගෙන ගිය අවස්ථාවේදී මම එච්. එස්. සරත් මහතාගෙන් ඇහුවා ඇමැතිතුමාගේ කාර්යාලයට චිත්‍රයක් ලබාදෙන්න පුළුවන්ද කියලා. එදා ඔහු සැලළිහිණි සංදේශය පිළිබිඹු කෙරෙන විශාල චිත්‍රයක් ලබා දුන්නා. මම දන්න විදිහට අවාසනාවට අද එම චිත්‍රය අමාත්‍යාංශයේ නැහැ. විශාල මුදලකට දවසක අලෙවි කළ හැකි නිසා එය කවුරු හරි ගෙදර ගෙනිහින් තියාගෙන ඇති. කෙසේ වෙතත් එච්. එස්. සරත් මහතා විවිධ ආකාරයේ වැඩකටයුතුවලට සහභාගි වුණා. ඔහුගේ දක්‍ෂතා පිළිබඳව අමුතුවෙන් කිව යුතු නෑ. මේ චිත්‍ර බැලුවම එය වටහා ගත හැකියි.

මෙම අවස්ථාව සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති සමන් අතාවුදහෙට්ටි යන මහත්වරු සහභාගි වූහ.

චිත්‍ර ප්‍රදර්ශනය නොවැම්බර් 18, 19 සහ 20 තෙදින කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment