අධිආරක්‍ෂිත කලාප ගැසට්ටුවට එරෙහිව  උසාවි යනවා – සුමන්දිරන් කියයි

80

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොළඹ හා ඒ අවට පිහිටි ප්‍රධාන රාජ්‍ය ආයතන පිහිටි ගොඩනැගිලි 18ක් ඇතුළු ප්‍රදේශ රැසක් අධිආරක්ෂිත කලාප ලෙස නම් කරමින් නිකුත් කොට ඇති අතිවිශේෂ ගැසට් පත්‍රයට එරෙහිව එය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කිරීමට කටයුතු කරන බැව් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්දිරන් මහතා පැවසීය.

ත්‍රස්තවාදී පනත වහා හකුලාගන්නා ලෙස බලකරමින් ගාල්ල නගරයේ ඉකුත් 24 වැනිදා පස්වරුවේ පැවති අත්සන් ලබාගැනීමේ අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

ජනාධිපතිවරයා අධිආරක්ෂිත කලාප කියලා ගැසට් එකක් නිකුත් කරලා තියෙන්නේ රජයේ රහස් පනත යටතේ. මෙම පනත යොදාගෙන විශාල ප්‍රදේශයක් අධිආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත්කරලා. මේක නීති විරෝධී ක්‍රියාවක්. මෙවැනි ගැසට් නිවේදන නිකුත් කරලා ජනතා නැගිටීම මර්දනය කරන්න බැහැ. පැරණි පනත් බලලා ජනාධිපතිවරයාට කවුරු හරි උපදෙස් දෙන්න ඇති මෙහෙම කරන්න කියලා. රාජ්‍ය රහස් පනත යෙදාගෙන ජනතා විරෝධය මර්දනය කරන්න බැහැ. එම නිසා මෙයට එරෙහිව කටයුතු කරන අතර අධිකරණය ඉදිරියේ අපි මේ පනත අභියෝගයට ලක් කරනවා. මෙහෙම ගියොත් මේ රටේ කාටවත් ජීවත් වෙන්න බැරිවෙනවා. නිදහස් කලාප නැතිවෙනවා. මේ තුළින් ජනතා නැගිටීම මර්දනය කරන්න බැහැ. එක සාර්ථක වෙන්නේ නැහැ.

ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා විසින් අත්සන් ලබාගැනීමේ වැඩසටහන සංවිධානය කොට තිබුණි.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි, හිනිදුම – රවින්ද්‍ර චන්ද්‍රලාල්
 

advertistmentadvertistment
advertistmentadvertistment