අධිකරණයට අපහාස කිරීමට දඬුවම් නොකිරීමට හේතු කියන්න

208

රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට අභියාචනාධිකරණයෙන් නියෝගයක්

මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී ඇති රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාට ලබන මස 13 වැනිදා පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට අභියාචනාධිකරණය ඊයේ (29 දා) නියෝග කළේය.

එමෙන්ම ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ චෝදනා සකස්කර අධිකරණය හමුවේ ගොනු කරන ලෙසද නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ රත්නප්‍රිය ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට නියෝග කළහ.

2022 අගෝස්තු 23 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානයේදී කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට හා නීතියේ ආධිපත්‍යයට බරපතළ ලෙස අපහාසයක් සිදුකර ඇති බව කියමින් නීතීඥ ප්‍රියලාල් සිරිසේන හා නීතීඥ විජිත කුමාර යන මහත්වරුන් ගොනුකර තිබු පෙත්සම් 2 කැඳවූ අවස්ථාවේ දී ඒ සම්බන්ධයෙන් විනිසුරු මඩුල්ල එකී නියෝගය ලබා දුන්නේය.

එම නඩුව ලබන මස 13 වැනිදා යළි කැඳවීමටද විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කළේය.

ඉකුත් මැයි මස 9 වැනිදා ගාලුමුවදොර ගෝඨා ගෝගම අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්‍ෂණ දොපර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුකරයක් ගොනුකර ඇති බවත් එහි සැකකරුවකු වශයෙන් සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා නම් කර ඇති බවත් පෙත්සම්කරුවන් කියා සිටී.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සනත් නිශාන්ත මහතා කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් රක්‍ෂිත බන්ධනාගාර ගතකර පසුව ඇප මත මුදාහැරි බවත් පෙත්සමේ සඳහන් වේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment