අධිකරණයට අපහාස කිරීම: විනිසුරු බලය අභියෝගයට ලක් කිරීම බරපතළ වරදක්!

637

සිහි තබා ගන්නැයි විනිසුරු ඇමැතිට කියයි

ඇමැතිවරයා ප්‍රමාදවී උසාවි එයි
නියමිත වේලාවට එන්නැයි විනිසුරුගෙන් අවවාද

ඔව්… ඇත්තටම මම දැන් අධිකරණයට බයයි
අධිකරණයෙන් පිටවෙන ගමන් සනත් තිශාන්ත මාධ්‍යයට කියයි

නියමිත වේලාවට අධිකරණය හමුවේ පෙනී නොසිටී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස්පතිවරයාට නියෝග කරමින් නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (13 දා) නියෝග කළේය.

අධිකරණයට අපහයාස කිරීම හා අධිකරණ විනිසුරුවරුන්ගේ බලය අභියෝගයට ලක්කිරීම ඉතාමත් බරපතළ වරදක් බවත් මහජන සේවකයකු මෙන්ම පාර්ලමේන්තු මන්ත්‍රීවරයකු ද වන වගඋත්තරකරු ඒ සම්බන්ධයෙන් තරයේ සිහිතබා ගත යුතු බවටත් තරයේ අවවාද කළ නිශ්ශංක බන්දුල කරුණාරත්න හා රත්නප්‍රිය ගුරුසිංහ යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළහ. මින් පෙර අධිකරණයට අපහාස කළ පුද්ගලයන්ට අත්විඳීමට සිදුවූ අහිතකර කුමක් දැයි කියා දන්නේ දැයි විත්තිකූඩුවේ සිටි වගඋත්තරකාර සනත් නිශාන්ත මන්ත්‍රීවරයා ගෙන් විමසූ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා තම අධිකරණය වරෙන්තු නිකුත්කර සුළු වේලාවක් ඇතුළත අධිකරණය හමුවේ පෙනි සිටීම කෙරෙහි අවධානය යොමුකර අවසන් වතාවට සමාව දෙන බව පෙන්වා දුන්නේය. මින්මතු නියමිත වෙලාවට අධිකරණයට පැමිණීමට වගබලා ගන්නා ලෙසට ද සභාපති විනිසුරුවරයා වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍යවරයාට වැඩිදුරටත් අවවාද කර එම නඩු ලබන මස 10 වැනිදා දක්වා කල් තැබීමට ද නියෝග කළේය.

අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය සිතාසි නිකුත්කර තිබියදීත් නියමිත වේලාවට අධිකරණයට නොපැමිණියේ ඇයිදැයි අධිකරණයෙන් පිටව යමින් සිටි වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍යවරයා ගෙන් මාධ්‍යවේදියකු විමසූ අතර ඒ පිළිබඳව ඔහු කිසිදු අදහසක් නොදැක් වීය. සුපුරුදු පරිදි මාධ්‍ය හමුවේ අදහස් නොදක්වනුයේ බිය නිසා දැයි මාධ්‍යවේදියකු නැවත ඔහුගෙන් විමසූ අතර ඔව් ඇත්තටම මම දැන් අධිකරණයට බයයි යැයි පවසමින් වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍යවරයා අධිකරණ භූමියෙන් පිටත් විය.

පසුගිය අගෝස්තු 23 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානයේ පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී සිදු කළ නඩුවලට පාදක වූ ප්‍රකාශ අධිකරණයට සිදුකළ ඉතා බරපතළ ප්‍රකාශ වන බැවින් අධිකරණයට සිදුකළ එම ප්‍රකාශවලට නිසි දඬුවම් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවේ සියලුම මහෙස්ත්‍රාත්වරුන් හා දිසා විනිසුරුවරුන් සාමාජිකත්වය දරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය තම අධිකරණයට පැමිණිල්ලක් කරමින් ඉල්ලා ඇතැයි ද සභාපති විනිසුරුවරයා රාජ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.

එම නඩුව ඊයේ (13 දා) උදෑසන කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා කරුණු දක්වමින් වගඋත්තරකරු අධිකරණයට පැමිණ නොමැති නිසා නඩු පසුව කැඳවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව විනාඩි කිහිපයකට පසුව යළි එම නඩු කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා මහතා කරුණු දක්වමින් තමන් පෙනී සිටින නඩුවට අදාළ සිතාසි සහ ලේඛන නිසි පරිදි ලැබී නොමැති නිසා සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටින බව අධිකරණයට දැනුම් දුන්නේය. එම කරුණු දැක්වීමට දැඩිව විරුද්ධත්වය දක්වමින් පැමිණිලකාර පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතඥ උපුල් ිජයසූරිය යන මහත්වරුන් දැක්වූ කරුණු පිළිගත් විනිසුරු මඬුල්ල එම වරෙන්තුව නිකුත් කළේය. ඉන් විනාඩි කිහිපයකට පසුව වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට පැමිණියේය. පසුව මෝසමක් මගින් නඩුව කැඳවා ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා මහතා කළ කරුණු දැක්වීම් සලකා බලමින් එම වරෙන්තුව ආපසු කැඳවීමට විනිසුරු මඬුල්ල නියෝග කළේය. නීතිඥ කීර්ති තිලකරත්න ඇතුළු නීතිඥ මඬුල්ලක් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා මහතා විත්තිය නියෝජනය කළේය. නිතිඥ ප්‍රියලාල් සිරිසේන, නීතිඥ විජිත කුමාර යන මහත්වරුන් හා ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව එම පැමිණිලි තුන ගොනු කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment