අධිකරණයේ නිදහසට බාධාවක් වූවොත් නොබියව පියවර ගන්නවා – නීතිඥ සංගමයේ නව සභාපති කෞෂල්‍ය නවරත්න

148

අද අවශ්‍ය ලොව සියලු අභියෝගවලට මුහුණ දිය හැකි නීතිඥවරයෙක් – අගවිනිසුරු

අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක්වේ නම් ඒ පිළිබඳව නොබියව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අභිනව සභාපති ලෙස පත්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා පෙරේදා (25 දා) පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2023/2024 වසර සඳහා නව සභාපති ධුරයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කරමිනි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි.

එහිදී තවදුරටත් කතා කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා මෙසේද කීය.

නීතිඥ සංගමය ලෙස අපගේ සාමාජිකයන් ලොව සෙසු රටවල නීතිඥ ප්‍රමිතීන්වලට අනුව නීති අධ්‍යාපනය සහ වෘත්තීය වර්ධනය දියුණු කිරීමට වහාම පියවර ගත යුතුයි. ඒ අනුව අපි ප්‍රගතිශීලී වීම අත්‍යවශ්‍යයි. ගත යුත්තේ ජනප්‍රිය තීරණ නොවෙයි. අපි ඉදිරිපත් කර තිබෙන ප්‍රගතිශීලී යෝජනා ගැන සැලකිල්ලක් නොදක්වා පාර්ලිමේන්තුව ඒවා ප්‍රතික්‍ෂේප කිරීම කනගාටුදායකයි. අප ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩුවේ කුලුනු තුන වන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සමග සමගිව කටයුතු කිරීම ඉතා වැදගත්. නීතිඥ සංගමයේ අපි ස්වාධීනව කටයුතු කරන බවට මම අපේ සාමාජිකයන්ට පොරොන්දු වෙනවා. ඒ වගේම ව්‍යවස්ථාවත්, නීතියේ ආධිපත්‍යයත් මුල්කොට සලකනවා. අධිකරණයේ ස්වාධීනත්වයටත් බලපෑමක් වෙනවානම් ඒ පිළිබඳව අපි නොබියව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නවා. විරෝධතා දැක්වීමට ඇති අයිතිය මූලික අයිතිවාසිකමක්. හැම කෙනෙකුගේම වගකීම ව්‍යවස්ථාදායකයේ ඇති මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමයි. නීතිඥ සංගමය හැම විටම සමාජයේ සියලු දෙනාට සමාන අයිතීන් ලබාදෙන්න කටයුතු කරනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා-

අධිකරණ පද්ධතිය පාලනය කිරීමේදී සමාජයට ඉටුවිය යුතු යුතුකම් වගකීම් ආරක්‍ෂා කර ගැනීමත් නීති වෘත්තියේ උරුමය අඛණ්ඩව පවත්වා ගෙන යෑමේ වගකීමත් ඔබ සියලු දෙනා භාරගෙන තිබෙනවා. නවරත්න මහතා නායකත්වයට පත් වන්නේ නීතිඥයකු වීමේදී පුද්ගලයකුට අත්කර ගැනීමට අවශ්‍ය භාෂා අයිතිය සහ නිපුණතාව පිළිබඳව විශාල ව්‍යාකූලත්වයක් පවතින අවස්ථාවක. අද අවශ්‍ය ලෝකයේ සියලුම අභියෝගවලට මුහුණ දීමට ශක්තියක් ඇති නීතිඥයෙක්. ඒ වගේම සක්‍රීයව කටයුතු කරන නීතිඥයෙක්. එහෙම නැතිව ගෝලීය වශයෙන් ඉදිරියට යා නොහැකිව එක තැන සිටින නීතිඥයෙක් නෙවෙයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට සමුදුන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කළ සේවාව අගයා අගවිනිසුරු අතින් විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබිණි.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා 2021 පෙබරවාරි 24 වැනිදා පැවැති නිලවරණයෙන් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් 26 වැනි සභාපතිවරයා ලෙස තේරී පත්විය.

මෙම අවස්ථාවට නීතිපති සංජය රාජරත්නම් මහතා ඇතුළු නීති ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෝ පිරිසක්ද සහභාගි වූහ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment