අධිකරණය කැබිනට් මණ්ඩලය සොලවයි !

1309

ශ‍්‍රී ලංකාව අන්ත අසරණ කර ඇති පක්ෂ දේශපාලනය තුළ පාර්ලිමේන්තු වරප‍්‍රසාද, මැති ඇමැති වරප‍්‍රසාද සහ විශ‍්‍රාමික ජනාධිපති සහ අගමැතිවරුන්ට හිමි සැප පහසුකම් සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතුය. ඒ ආර්ථිකය බරපතළ කඩා වැටීමකට ලක්වී, සමස්ත ජන ජීවිතය අවුල් වී ඇති තත්ත්වයක් යටතේය. ප‍්‍රබල සිවිල් සංවිධානයක් හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන තමන් පාවිච්චි කළ නිල නිවාසය (කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය නොවේ) කැබිනට් පත‍්‍රිකාවක් මාර්ගයෙන් හිමි කර ගැනීම රටේ ඉහළම අධිකරණයේ අභියෝග කිරීම තුළ සමස්ත දේශපාලන ව්‍යුහයම නිරුවත් කර ඇත. ජනතා සේවකයන් ලෙස තමන්ව හඳුන්වා ගන්නා සමස්ත කණ්ඩායම සම්බන්ධයෙන් පිළිකුලක් ඇති කර ඇත.

කැබිනට් තීන්දු තීරණ විභාග කිරීමේ බලය අධිකරණයට ඇත. ‘එක රටක්, එක නීතියක්’ ක‍්‍රියාත්මක රටක එසේ විය යුතුමය. ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ක‍්‍රියාත්මක කැබිනට් මණ්ඩලයද අධිකරණ බලයට යටත්ය. එම තත්ත්වය පසුගියදා අවධාරණය කෙරිණි. විධායකය නියෝජනය වන කැබිනට් මණ්ඩලයට අධිකරණය අභියෝගයක්ද?

රටේ ඉහළම අධිකරණය යහපාලන කැබිනට් මණ්ඩලය (2015-2019) එවකට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පාවිච්චි කළ පැජට් පාරේ (මහගමසේකර මාවත) පිහිටි නිල නිවාසය එතුමා විශ‍්‍රාම ගැනීමෙන් පසුවද ඔහුට ලබා දීමට ගත් තීන්දුව තාවකාලිකව බලරහිත කිරීම ඉතිහාසගතවී හමාරය. මාර්තු 29, 2022 දුන් එම නියෝගය සති හතරකින් ක‍්‍රියාත්මක වන බවත්, එම තත්ත්වය විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු බලපැවැත්වෙන බව අධිකරණය ප‍්‍රකාශ කර ඇත. නැවත පෙත්සම කැඳවන්නේ මැයි 18 වන දිනය. එසේනම් මෙම නඩුව නැවත අධිකරණය කැඳවන විට හිටපු ජනාධිපතිවරයා පැජට් පාරේ නිවහනින් පිටවිය යුතුය.

මෙම පෙත්සම විභාගයට ගැනීමට ඉහළ අධිකරණය මීට පෙර අවසර දී තිබිණි.

විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය අධිකරණ ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වූයේ 2019 නොවැම්බර් 14 දිනය. ඒ ජනාධිපතිවරණයට දින දෙකකට පෙරය. එම සිවිල් සංවිධානයේ ස්ථාවරය වූයේ විශාල මූල්‍යමය වටිනාකමක් ඇති එම නිවාසය රටට හිමි වස්තුවක් බවයි.

ප‍්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධනගෙන් සමන්විත විනිසුරු ම`ඩුල්ල දුන් තීරණය විමසා බැලිය යුතු වන්නේ මෑතකදී අධිකරණය වර්තමාන කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවක් සම්බන්ධයෙන් දුන් තීරණයද අවධානයට ලක් කිරීමෙනි. එයද මූලික අයිතිවාසිකම් නඩුවකි. අනිවාර්යෙන්ම ඉතිහාසගතවන නඩුවකි.

ආගමික නායකයන්, රාජ්‍ය අංශයේ සේවකයන් සහ දේශපාලන පක්ෂ කිහිපයක් රජයට සතු යුගදනවි බලාගාරයේ කොටස් 40% ඇමෙරිකාවේ නිව් ෆෝට‍්‍රස් එනර්ජි සමාගමට පැවරීමට එරෙහිව ඉහළම අධිකරණයට පැමිණිලි කළේය. අදාළ ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දෙකඩ විය. මූලික අයිතිවාසිකම් පෙත්සමට අතරමැදි පාර්ශ්වකරුවන් ලෙස සහයෝගය පළ කළ විමල් වීරවංශට සහ උදය ගම්මන්පිලට තම ඇමැතිකම් අහිමි විය. එම කණ්ඩායමේ සාමාජික වාසුදේව නානායක්කාර තවමත් ඇමැති පට්ටම තබාගෙන සිටී. අගමැති මහින්ද රාජපක්ෂ ගේ පැරණි සටන් සගයෙකු වූ වාසුදේව බලා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ව අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන තුරුය.

කෙසේ වෙතත් මහත් ආන්දෝලානාත්මක යුගදනවි ගිවිසුමට එරෙහිව පැවරූ නඩුව හේතුවක් නොදක්වාම විසිවිය.

ව්‍යවස්ථානුකුලව, ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියාය. පැජට් පාරේ නිවාසය හිටපු ජනාධිපති සිරිසේනට ලබාදීම යහපාලන කැබිනට් මණ්ඩලය ගත් ඒකමතික තීන්දුවකි. නමුත් යුගදනවි තීන්දුව ඒකමතික නොවේ. ඇමැතිවරුන් තුන් දෙනකු යුගදනවි ගිවිසුම පාවාදීමක් ලෙස ප‍්‍රකාශ කර ඇත. යහපාලන කැබිනට් මණ්ඩලයේ මෙන්ම වර්තමාන අමාත්‍ය මණ්ඩලයේද පක්ෂ නියෝජනය කරන මහජන නියෝජිතයන් 30 සිටිති.

හිටපු ජනාධිපතිවරයාට පැජට් පාරේ නිවාසය ලබාදීමට එකඟතාව පළ කළ මහජන නියෝජිතයන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කැබිනට් මණ්ඩලයේද, පොහොට්ටු පාර්ලිමේන්තු කණ්ඩායමේද සිටිති. ඔවුන් නියෝජනය කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි. අපූරු දේශපාලන සංදර්ශනයක් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක බව පැහැදිලිය. නිමල් සිරිපාල සහ මහින්ද අමරවීර ශ‍්‍රීලනිපය වර්තමාන කැබිනට් මණ්ඩලය නියෝජනය කරයි. ශ‍්‍රීලනිපයට රාජ්‍ය අමාත්‍යධුර දෙකක් ද ඇත. පක්ෂ නායක සිරිසේන 14 කින් සමන්විත ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයෙකි.

රජයේ නීතිඥ සංජීව රාජරත්නම් (නීතිපති) යුගදනවි මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී ප‍්‍රකාශ කළේ අමාත්‍යවරුන් යම් කැබිනට් තීරණයකට එකඟ නොවන්නේනම් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් විය යුතු බවයි. එම අවවාදය පැජට් නිවාසය එවකට ජනාධිපති සිරිසේනට ලබා දීමට එකඟතාව පළ කළ අමාත්‍යවරුන්ට බලපාන්නේ කුමන ආකාරයටද ?

යහපාලන සමයේදී පැජට් නිවාසය සම්බන්ධයෙන් ගත් කැබිනට් තීරණය එජාප නායක හිටපු අගමැති වර්තමාන පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහගේ වගකීමයි. ඒ වගකීමෙන් වික‍්‍රමසිංහට ගැලවිය නොහැක. හිටපු ඇමැති සහ එජාප සභාපති වජිර අබේවර්ධන පවසන ආකාරයට වර්තමාන ආර්ථික අර්බුදයෙන් ශ‍්‍රී ලංකාව ගලවා ගැනීමට හැකියාව ඇති එකම පුද්ගලයා ලෙස හඳුන්වන වික‍්‍රමසිංහද අදාළ කැබිනට් පත‍්‍රිකාවට වගකිව යුතුය.

සමගි ජන බලවේගය සම්බන්ධයෙන් කීමට ඇත්තේද එයමය. හිටපු ජනාධිපතිවරයාට පැජට් නිවාසය ලබා දීමට අත ඉස්සූ එදා ඇමැතිවරුන් කීප දෙනකුම සජිත් පේ‍්‍රමදාස නායකත්වය දෙන සමගි ජන බලවේගය නියෝජනය කරයි. ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු නායකත්වය දෙන විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය දේශපාලන දෙබරයකට ගල් ගසා ඇත. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂවලට අපූරු පාඩමක් කියා දී ඇත.

ජනතාව විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය ගත් ක‍්‍රියාමාර්ගය අනුමත කරන බවට සැකයක් නැත. දිනකට පැය 10 කට වඩා වැඩි විදුලි කප්පාදුවකට මුහුණ දී සිටින, ඉන්ධන, ගෑස් සහ අහස උසට නැග ඇති ඉහිලිය නොහැකි ජීවන බරට යටවී ඇති ජනතාවට සියලූම දේශපාලන පක්ෂ අරහන්ය.

පාර්ලිමේන්තුවේ සිටින 225 ටම සාප කළ කාලයට වඩා තත්ත්වය බරපතළය. මහජන නියෝජිතයෙකුට හමුදා ආරක්ෂාව සහිතව වුවද මහජනතාව ඉදිරියට යෑම අනතුරුදායකය. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය වර්තමානයේ මුහුණ දෙන, තව දුරටත් වර්ධනය වෙමින් පවතින අභියෝගය එයයි. විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය 1986 අංක 04 දරන ජනාධිපතිවරුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ පනත යටතේ හිටපු ජනාධිපති සිරිසේනට පැජට් පාරේ නිවාසය ලබාදීම අභියෝගයට ලක් කර ඇත.

යහපාලන ආණ්ඩුව ජනාධිපති සිරිසේනගේ නායකත්වයෙන් කැබිනට් මණ්ඩලය ක‍්‍රියාත්මක වූ දින 2019 ඔක්තෝබර් 15 වන දින එවකට ජනාධිපති නිල නිවාසය සම්බන්ධයෙන් ගත් තීරණය විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය අභියෝග කර ඇත්තේ ප‍්‍රධාන කරුණු දෙකක් මුල් කරගෙනය. එනම් එම තීන්දුව ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ බලය ගිලිහෙමින් තිබුන අවස්ථාවක සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කර ඇති බවයි. සිවිල් සංවිධානය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සුරේන් ප‍්‍රනාන්දු තව දුරටත් ප‍්‍රශ්න කර සිටියේ එම නිවාසය සංවර්ධනය කිරීමට මහජන මුදලින් රුපියල් කෝටි 18 ක් (රුපියල් මිලියන 180 ක්) යහපාලන සමයේදී වියදම් කිරීම බරපතළ විෂමාචාරයක් නොවන්නේද බවයි.

ශ‍්‍රී ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කළ කැබිනට් මණ්ඩලයට එරෙහිව අධිකරණයට යෑමට තීරණය කළ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ මණ්ඩලය සමන්විත වන්නේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය සරවනමුත්තු, ආචාර්ය සුකන්‍යා දේවරාජන්, වෛද්‍ය සමීර් කරීම්, නීතිඥ ආචාර්ය දිනුෂා පණ්ඩිතරත්න, මාධ්‍යවේදී මිනෝලි ඞී සොයිසා, චන්දන එල් . ඞී. සිල්වා, නීතිඥ අසිත වික‍්‍රමසිංහ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, සිවිල් ක‍්‍රියාකාරිකයෙකු ලෙස ආචාර්ය සරවනමුත්තු මෙන්ම මහාචාර්ය තේනුවර ප‍්‍රබල කාර්යක් කර ඇත. අධිකරණය හරහා සහ අනෙකුත් ක‍්‍රියා මාර්ග තුළින් සිවිල් සංවිධාන දේශපාලන පක්ෂවලට කරන බලපෑම ජනතාව වෙනුවෙන්ද? එම අධිකරණ ක‍්‍රියාමාර්ගය අවධාරණය කරන්නේ සමස්ත දේශපාලන ක‍්‍රමයේ පිරිහීම නොවේද? අදාළ කැබිනට් තීන්දුව 2015 දී මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් ආණ්ඩුව පරාජය කිරීමට දායකත්වය දුන් සියලූම පාර්ශ්වකරුවන්ට කළ අපහාසයකි.

විශේෂයෙන්ම සඳහන් කළ යුතුවන්නේ එවකට ජනාධිපතිවරයාට ජනාධිපති නිල නිවාසය කැබිනට් පත‍්‍රිකාවක් හරහා පවරා දීමට එජාපය කටයුතු කළේ දින 52 ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය පරාජය කළ පසුබිමකදී බවයි. ජනාධිපති සිරිසේන එජාප නායක වික‍්‍රමසිංහව අග‍්‍රාමාත්‍ය ධුරයෙන් 2018 ඔක්තෝබර් මාසයේදී පහ කළේය. අධිකරණය කළ මැදිහත් වීම තුළ එම දේශපාලන මෙහෙයුම ආපසු හරවනු ලැබීය. වික‍්‍රමසිංහට නැවත අග‍්‍රාමාත්‍ය ධුරය ලබා දීමට ජනාධිපතිවරයාට සිදු විය. ඊට වසරකට පසුව එජාපය කැබිනට්, මණ්ඩලය හරහා ජනාධිපති නිල නිවාසය යහපාලන නායකයාට ලබා දීමට කටයුතු කළේ ඇයි ?

කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම ජනතාවටද? එසේත් නැතහොත් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන පක්ෂ නියෝජිතයන්ටද? විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය හෙළි කර ඇත්තේ දේශපාලන අවිචාරවත් භාවයයි. විශ‍්‍රාම යෑමට (නැවතත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට අවස්ථාවක් නොමැති හෝ ඇති) නියමිත ජනාධිපතිවරයෙකුට එතුමන්ගේම නායකත්වයෙන් තීන්දු තීරණ ගන්නා කැබිනට් මණ්ඩලයක් හරහා යම්කිසි වරප‍්‍රසාදයක් ලබාදීම විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය ප‍්‍රශ්න කර ඇත. සියලූම දේශපාලන පක්ෂ නිහඬ කර ඇත.

පාර්ලිමේන්තුව තුළ පැජට් ගනුදෙනුවට එරෙහිව හඬක් නැගූ ජනතා විමුක්ති පෙරමුණටද 2015 දී යහපාලනය ගෙන ඒමට කටයුතු කළ සියලූම පාර්ශ්වකරුවන්ටද වගකීමක් ඇත. යහපාලන ජනාධිපතිවරයා සහ එජාප නායකත්වය අතර දේශපාලන ගැටුම හේතුවෙන් ජාතික ආරක්ෂාව බිඳ වැටුන බව 2019 අපේ‍්‍රල් පාස්කු ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසම ඉදිරියේදී හෙළි විය. එම ගැටුම හේතුවෙන් අගමැති වික‍්‍රමසිංහට සහ රාජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජයවර්ධනට ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගි වීමට අවස්ථාව නොලැබුන බව රහසක් නොවේ. නමුත් එජාපය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්වී ඇති කැබිනට් පත‍්‍රිකාව ජනාධිපති සිරිසේන වෙනුවෙන් අනුමත කළේය.

දේශපාලනය අසූචි වළක් බව අමුතුවෙන් කිව යුතු නැත. එදා යහපාලනය පිහිටුවූ ශ‍්‍රීලනිපය, 2020 අගෝස්තුවේදී පොහොට්ටුවෙන් තරග කර අද වනවිට පක්ෂ 11 කින් සැදී ඇති ‘මුළු රටම හරි මඟට‘ කණ්ඩායමට එකතු වී ඇත. එම කණ්ඩායමේ විශාලතම පක්ෂය එයයි. එය පොහොට්ටු ආණ්ඩුවේ දෙවන විශාලතම පක්ෂයයි. විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය කැබිනට් තීන්දුවකට එරෙහිව අධිකරණයේ පිහිට පැතීම තුළ ශ‍්‍රීලනිපය මෙන්ම එම පක්ෂය සමඟ සන්ධානගතවී ඇති සියලූම දේශපාලන පක්ෂවලට නව දේශපාලන අර්බුදයකට මුහුණ දීමට සිදුවී ඇත.

ඇත්ත වශයෙන්ම අධිකරණය ඉදිරියේ ඇත්තේ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ පෞද්ගලික ප‍්‍රශ්නයක් නොවේ. අධිකරණයේ විමසුමට භාජන වන්නේ සමස්ත දේශපාලන ක‍්‍රියාදාමයයි. විධායක බලය පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ ක‍්‍රියාත්මක කරන්නේ කැබිනට් මණ්ඩලයයි. විධායකයද එම කැබිනට් මණ්ඩලයේ නියෝජනය වේ. නායකත්වය දරයි. එවැනි තත්ත්වයක් තුළ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය බල කේන්ද්‍ර දෙකකට තුන්වැනි බලකේන්ද්‍රය හරහා අභියෝග කර ඇත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment