අධිකරණය කෙරෙහි තිබෙන ගෞරවය සහ විශ්වාසය තහවුරු කරමු

370

මේ දිනවල පළවන ප්‍රවෘත්ති අතරින් සිය ගණනක් නීතිඥවරුන් නීතිපතිට එරෙහිව උද්ඝෝෂණ කළ බවත් විරෝධය පාමින් මහජනයාගේ විරෝධතා පෙළපාලි වලට එක් වූ බව පළ විය. මීට කලින් මා පළ කළ ලිපිවල මේ රට විනාශ කළ සංස්ථා අතර පක්ෂ දේශපාලන ක්‍රමය සහ විධායක ජනාධිපති ක්‍රමය ගැන විස්තර කළෙමි. තුන්වැනිව මේ රටේ පිරිහීමට හේතුවක් ලෙස සඳහන් කළේ අධිකරණයේ ස්වාධීනත්වය දුර්වල වී ඇතැයි මහජනයා විශ්වාස කිරීමයි. මෙය පක්ෂ සහ බලකාමී දේශපාලනයේත් විධායක ජනාධිපති ක්‍රමයේත් වරද නිසා ඇති වූවක් බව සඳහන් කරනු කැමැත්තෙමි.

පුවත්පත් සිරස්තලවල සහ වෙනත් විද්්‍යුත් මාධ්‍යවල “නිදොස් කොට නිදහස් කරන ලදී” යන වචන ටික හැමදාම වාගේ අපට දකින්නට ලැබේ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහ වෙනත් උසාවිවලින් මෙසේ නිදොස් කොට නිදහස් කරන ලදී යන තීන්දු දුසිම් ගණනින් දෙන විට ඒ පිළිබඳ මහජනයාට කුතුහලයක් ඇතිවීම ස්වභාවිකය. පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ආදී ආයතන සම්බන්ධ වී උසාවිවලට ඉදිරිපත් කරන චූදිතයන් මෙසේ නිදොස් කොට නිදහස් කිරීම නිසා ඒ ආයතන හරිහැටි තමන්ගේ රාජ්‍ය සේවය ඉටු කළේ දැයි අපට ප්‍රශ්නයක් ඇති වේ. මෙය අධිකරණයට දොස් කීමක් නොවේ. එහි ගෞරවය සහ විශ්වාසය නැවත තහවුරු කිරීමට කරන ප්‍රකාශයක් පමණකි.

අප රටේ සිටින බුද්ධිමතුන් උගතුන් අතරේ නීතිඥවරුන් ද සිටීම රටේ වාසනාවකි. මේ නීතිඥවරුන් මෙවැනි තීරණාත්මක අවස්ථාවක සිය ගණනින් ඉදිරිපත්ව මහජනයාට ආදර්ශයක් දීම ගැන අප ඔවුනට කෘතඥ විය යුතුය. එහෙත් විරෝධතා පෑම සහ උද්ඝෝෂණ පැවැත්වීමෙන් ඔබ්බට ගොස් කෙටි කාලීනව හා දීර්ඝ කාලීනව මහජනයාට යුක්තිය සහ සාධාරණය සැලසෙන අන්දමට අධිකරණ පද්ධතියේ වෙනසක් ඇති කිරීම අවශ්‍යය. මේ ගැන සිතා බලන ලෙස අධිකරණ සේවයේත් නීතිඥ වෘත්තිතයේ සිටින අයට සහ ඒවායේ යෙදී සිට දැනට විශ්‍රාම ගෙන සිටින හා විදෙස්ගතව සිටින හැමගෙන්ම මා ඉල්ලා සිටිමි.

මේ රටේ අධිකරණයෙන් පවා අඩුම සාධාරණය සහ යුක්තිය ඉටු වන්නේ සාමාන්‍ය දුගී දුප්පත් ජනතාවටය. ධනවත් බලවත් අයට හොඳ දක්ෂ නීතිඥයන් යොදා නඩුවලට මුහුණදීමට පුළුවන. අපට අවශ්‍ය වන්නේ බිම් මට්ටමේ සිට ඉහළට ක්‍රියාත්මක වන අධිකරණ පද්ධතියකි. අප කුඩා කාලයේ ගම්සභා ක්‍රියාත්මක වූ හැටි අපට මතකය. අද පළාත් පාලන ආයතනවලට පක්ෂ දේශපාලනය සහ ලොකු ලොක්කන්ගේ බලපෑම් ඇතිව තිබෙන නිසා ඒවායෙන් යහපාලනයක් සිදුවීම ද මහජනයා සතුටුවන පරිද්දෙන් නොවන බව පැවසිය යුතුය.

ග්‍රාම ස්වරාජ්‍ය, ප්‍රජා ස්වරාජ්‍ය සංකල්පය මුල් කරගෙන ගමේ සිට ජාතික මට්ටම දක්වා නව අධිකරණ පද්ධතියක් ගොඩනැඟීමට මේ යුගය ස්වර්ණමය අවස්ථාවකි. දේශපාලන පක්ෂවලට ගැති නොවුණු සෘජුව සාධාරණව, යුක්ති සහගතව තම රාජකාරිය කළ හැමදෙනාටම මෙවැනි ක්‍රමයක්

ගොඩනැඟීම සඳහා සහභාගි විය හැකිය. එය යුගයට අවශ්‍ය ජන සහභාගිත්වක අහිංසාවාදී විප්ලවයක් ලෙස මම සලකමි. අධිකරණ අංශයේ සේවය කළ සේවය කරන හැමදෙනාටම මා කරන පණිවුඩයකි මේ. ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය මේ ගැන විශේෂ අවධානය යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

ආචාර්ය ඒ. ටී. ආරියරත්න

advertistmentadvertistment
advertistmentadvertistment