අධික උෂ්ණත්වයෙන් උතුරු ඉන්දියාවේ 61 ක් මරුට – මියගිය 43 ක්ම ඡන්ද මධ්‍යස්ථානවල සේවය කළ අය

181

උතුරු ඉන්දියාවට බලපා ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉකුත් තෙමසක කාලය තුළ අධික උෂ්ණත්වයට නිරාවරණය වීමෙන් ඇතිවන තාප ආඝාතයට (හීට් ස්ට්‍රෝක්) ගොදුරු වීමෙන් 61 දෙනකු මියගොස් ඇති බවත් තවත් 24,000කට අධික සංඛ්‍යාවක් එම රෝග තත්ත්වයට ගොදුරු වීමෙන් රෝහල් ප්‍රතිකාර සඳහා යොමුව ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

ඉන්දියාවේ රෝග පාලනය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයට අනුව තාප ආඝාතය හේතුවෙන් මෙසේ මියගිය 61 දෙනාගෙන් 46 දෙනකුම මියගොස් ඇත්තේ ඉකුත් මැයි මාසයේදීය. මියගොස් ඇති 43 දෙනෙකුම ඉකුත්දා නිමාවට පත් වූ ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථානවල සේවය කළ නිලධාරීන් ඇතුළු සේවකයන් බව හෙළි වී තිබේ.

ඉකුත් මාර්තු මාසයේ සිට මැයි දක්වා ගත වූ මාස තුනක කාලය තුළ උතුරු ඉන්දියාවේ අධික උෂ්ණත්වයට නිරාවරණය වීමෙන් තාප ආඝාතයට ගොදුරු වූ 24.849 දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමුව ඇති අතර ඉන් 61 දෙනෙකු මෙසේ මියගොස් තිබේ. තාප ආඝාතයට ගොදුරු වීමෙන් මියගොස් ඇති වැඩි දෙනකු බීහාර්, උත්තර් ප්‍රදේශ් ඇතුළු උතරු ඉන්දීය ප්‍රාන්තවල වැසියන් බව වාර්තා වී තිබේ. තාප ආඝාතය ඇතුළු අධික උෂ්ණත්වයට නිරාවරණය වීමෙන් හටගත් රෝගවලට ගොදුරු වීමෙන් මියගොස් ඇති ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් 43 දෙනාගෙන් 33 දෙනෙකු උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ඡන්ද මධ්‍යස්ථානවල සේවයේ යෙදී සිටියදී මියගොස් තිබේ. මේ වන විට උතුරු ඉන්දීය ප්‍රාන්තවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ගොස් ඇති අතර ඇතැම් ප්‍රදේශවල එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ගොස් තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment