අධික කොලෙස්ටරෝල් පාලනය

1038

වර්තමානයේ අප ගත කරන ජීවන රටාව අනුව බෝවන රෝගවලට වඩා බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ වැඩි අවදානමක් මතුව තිබේ. මෙහි ඇති එක් අනතුරුදායක තත්ත්වයක් වන්නේ එක් බෝ නොවන රෝගයක් හඳුනා ගන්නා විට තවත් බෝ නොවන රෝග කිහිපයක්ම මතුව තිබීම හෝ මතුවෙමින් පැවතීමය.

මේ වන විට අපට බහුලව දකින්නට ලැබෙන බෝ නොවන රෝග වන්නේ දියවැඩියාව අධි රුධිර පීඩනය, හෘදයාබාධ, අධික කොලෙස්ටරෝල් තැන්පත්වීම ආදියයි.

මෙම රෝග සියල්ලටම ප්‍රධානතම හේතුව වන්නේ අපගේ ජීවන රටාවේ පවතින වැරදි ඇවතුම් පැවතුම්ය.

විශේෂයෙන්ම ව්‍යායාම මඳකම, වැරදි ආහාර රටාවන් ඊට ප්‍රධාන ලෙසට බලපා ඇත.

මෙම රෝගය අතරින් සිරුරේ අධික ලෙස කොලෙස්ටරෝල් තැන්පත්වීමට ලක්වූවන් බහුලව දකින්නට ලැබේ. මෙලෙස හමුවන රෝගීන්ට ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ වැරදි ආහාර රටාවන් සහ ව්‍යායාම මඳකමය.

කොලෙස්ටරෝල් යැයි පැවසූ විට බොහෝ දෙනා සිතා සිටින්නේ මෙය සිරුරට අහිතකර දෙයක් ලෙසය.

නමුත් කොලෙස්ටරෝල් යනු අපගේ ශරීරයට අවශ්‍ය පෝෂක සංඝටකයකි. කොලෙස්ටරෝල් ශරීරයේ සෛල පටකවල පැවැත්මට සහ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය වේ.

අප ගන්නා ආහාර ශරීරයට උරා ගැනීමට උපකාරී වන පිත නිපදවන්නේද කොලොස්ටරෝල් මගිනි.

එසේ නම් සිරුරට කොලෙස්ටරෝල් අධිකවීම හානිකර වන්නේ කෙසේදැයි කියා සිතෙනු ඇත.

සිරුරට කොලෙස්ටරෝල් නිපදවන්නේ මේදය මගිනි. අප ගනු ලබන මේදය තුළ සංතෘප්ත මේදය (LDL) අසංතෘප්ත මේදය (HDL) ලෙස කොටස් දෙකක් තිබේ. මින් අසංතෘප්ත මේදය සිරුරේ තැන්පත්වීම අහිතකර නැත. නමුත් සංතෘප්ත මේදය තැන්පත්වීම අහිත කරයි.

සිරුරේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ලැබෙන මේද කොටස් කෙලින්ම මුදාහැරෙන්නේ රුධිරය වෙතය. මෙම මේද කොටස් රුධිරයේ දිය නොවේ. ඒවා රුධිර නාල තුළ තැන්පත්වේ. මෙසේ තැන්පත්වන මේද කොටස් අහිතකර හෙවත් සංතෘප්ත මේදය නම් ඒවා මගින් රුධිර නාල අවහිරවේ. එවිට රුධිරයේ ගමනා ගමනයට බාධා ඇතිවී රුධිර නාල පිපුරුමකට ලක්වීම, අධි රුධිර පීඩනය ඇතිවීම, රුධිර ගැටිත්තක් සිරවී අංශභාගය (ආඝාතය) වැනි රෝග මතුවීම ආදියට ලක්විය හැකිය.

දියවැඩියාව රෝගයෙන් පෙළෙන පුද්ගලයන්, ඔසප්වීම නතරවීමට හෙවත් ආර්ථවහරණයට ලක්වූවනට ඉතා පහසුවෙන් අධික කොලෙස්ටරෝල් තැන්පත්වීමේ රෝගය මතුවිය හැකිය. එනිසා එවැනි පුද්ගලයින් මේ පිළිබඳව වැඩි අවධානය යොමු කළ යුතුය.

කොලෙස්ටරෝල් පාලනය
සිරුරට අවශ්‍ය ප්‍රමාණයට වඩා ලැබෙන මේදය ප්‍රමාණය පාලනය මගින් කොලෙස්ටරෝල් අධිකව තැන්පත්වීම පාලනය කළ හැකිය. ඒ සඳහා අධික මේදය සහිත ආහාර වර්ග ගැනීම සීමා කළ යුතුය. විශේෂයෙන්ම මස් වර්ග, චීස්, ගැඹුරු තෙලෙන් බදින ලද ආහාර වර්ග ගැනීම පාලනය කළ යුතුය.

එළවළු වර්ගවල මේදය නොමැත. එනිසා වැඩිපුර එළවළු සහ පලාවර්ග ආහාරයට ගැනීම කළ යුතුය.

දිනපතා ව්‍යායාමවල යෙදීම කළ යුතුය. ඒ සඳහා දිනකට පැය භාගයකවත් කාලයක් සිරුරට හොඳින් දහදිය දමන තුරු ඇවිදීම හෝ වෙනත් ව්‍යායාමවල යෙදිය හැකිය.

සිරුරේ බර අධිකව පවතී නම් එම බර පාලනය කර ගැනීමට කටයුතු කළ යුතුය. ඒ සඳහා ආහාර පාලනය සහ ව්‍යායාමවල යෙදීම කළ හැකිය.

ආයුර්වේදයේ සෑම රෝගයකටම ප්‍රතිකාර ලබාදෙන්නේ රෝග ලක්ෂණවලට නොව රෝග නිධානයටය. එබැවින් කොලෙස්ටරෝල් පාලනය සඳහා ද ඊට බලපා ඇති හේතුව හඳුනාගෙන ප්‍රතිකාර ලබාදේ. ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවූ විට රෝගයට බලපා ඇති හේතු හඳුනාගෙන ඒ අනුව ප්‍රතිකාර සිදුකරනු ලබයි.

වර්තමානයේ ආයුර්වේද ප්‍රතිකාර තුළ නවීන තාක්ෂණය අනුව නිපදවූ ඖෂධ වර්ග ඇත. නිසා රෝගියාට ඉතා පහසුවෙන් අවශ්‍ය ඖෂධ ලබා ගැනීමේ පහසුකම් තිබේ.

කෙසේ වෙතත් රෝගය සුවවීම සඳහා ඖෂධ මෙන්ම ආහාර පාලනය කිරීමද වෛද්‍ය උපදෙස් මත සිදු කළ යුතුය.

වර්තමානයේදී තරුණ වියේ සිටින පුද්ගලයින් පවා අධික කොලොස්ටරෝල් තැන්පත්වීමේ රෝගයට

ගොදුරුව සිටී. එවැනි පුද්ගලයින් නිසි වෛද්‍ය ප්‍රතිකාර මත තම ජීවන රටාව සකස් කර ගැනීමට යොමුවීම වැදගත්ය. එසේ නොවුණහොත් ඔවුන් ඉතා අඩු වයසින් හෘදයාබාධ, ආඝාතය වැනි රෝගාබාධවලට ගොදුරු විය හැකිය.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 0775109862 ඇමැතිය හැකිය.

අධික කොලෙස්ටරෝල් පාලනය

(B.A.M.S) කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ උපදේශක සහ ඇමැති උපදේශක කමිටු සාමාජික.

වෛද්‍ය සුජීව විතානගේ

advertistmentadvertistment
advertistmentadvertistment