අධික රස්නයෙන් තෙවැනි මරණයත් එප්පාවලින්

118

පවතින අධික උෂ්ණය නිසා තාප කම්පනයට පත්වීමෙන් මියගිය බවට සැකකරන තෙවන මරණයත් එප්පාවලින් ඊයේ (26දා) වාර්තා විය.

ඊයේ 26 දා පස්වරුවේ මෙම මරණය සිදුව ඇත. මෙලෙස මරණයට පත්ව ඇත්තේ එප්පාවල, මැඩියාව, යාය 02 ප්‍රදේශයේ පදිංචි යූ. බී. දිසානායක නම් අසූ එක් හැවිරිදි තිදරු පියෙකි.

යූ. බී. දිසානායක මහතා ඊයේ (26දා) සුපුරුදු පරිදි තමන් පදිංචි නිවසේ සිට නිවස පිටුපස කුඹුර වෙත පෙරවරු 11.00 ට පමණ ගොස් නැවත නොපැමිණීම හේතුවෙන් පස්වරු 2.00 ට පමණ ඔහුගේ පුතු ඒ පිළිබඳව සොයා බැලීමේදී ඔහු කුඹුරේ ලියද්දක් මත වැටී සිට ඇත. ඔහුගේ ශරීරයේ ඒ වන විටත් අධික උෂ්ණත්වය හේතුවෙන් දිය බිබිළි කීපයක් මතුවී හම ගැලවී ගොස් තිබී ඇත. ඔහු කඩිනමින් එප්පාවල රජයේ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළද ඒ වන විටත් ඔහු ජීවිතක්‍ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඔහු සුපුරුදු පරිදි නිවස පිටුපස පිහිටි කුඹුරේ සිය පුතු හා දියණිය ගොවිතැන් කටයුතු කරන අයුරු බලාගෙන සිටීමට හුරුවී සිටි අයකු බව පවුලේ ඥාතීහු පැවසූහ.

සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිසිය පරීක්‍ෂණ සිදුකරන අතර, මියගිය පුද්ගලයාගේ දේහය එප්පාවල ප්‍රාදේශීය රෝහලට ගෙන ගොස් ඇත. පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතය.

තිසර සමල් – එප්පාවල

advertistmentadvertistment
advertistmentadvertistment