අධික වේගයෙන් ගිය මෝටර් රථය රෝන්සයිඩ් ගිහින් පාපැදියේ ගිය – ශිෂ්‍යයා ජීවිතක්‍ෂයට

519

පාර හැදුවත් මාර්ග සංඥා නිසි ලෙස නෑ – ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා

ඉපලෝගම පොලිස් වසමේ මහඉලුප්පල්ලම, සංඝැට්ටාව ප්‍රදේශයේ දී මෝටර් රථයක් හා පාපැදියක් මුහුණට මුහුණ ගැටී පහළොස් හැවිරිදි පාසැල් ශිෂ්‍යයකු එම ස්ථානයේදීම පෙරේදා (16 දා) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇත.

කැකිරාව – එප්පාවල ප්‍රධාන මාර්ගයේ මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී සිදු වූ අනතුරින්මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහඉලුප්පල්ලම, කුඹුක්කැන්ද ප්‍රදේශයේ පදිංචි කැකිරාව මධ්‍ය විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබන පුෂ්පික කසුන්ත සමරතුංග නම් 15 හැවිරිදි ශිෂ්‍යයෙකි. තලාව සිට කැකිරාව දෙසට ගමන්ගත් මෝටර් රථයේ රියැදුරුට එහි වේගය පාලනය කරගත නොහැකිව ගමන්ගත් මංතීරුවෙන් අනෙක් මංතීරුවට පැන ඊට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් පැමිණි පාපැදියේ ගැටී ඇත.

මහඉලුප්පල්ලම ප්‍රදේශයේම පවතින තොරතුරු තාක්ෂණ විෂයට අදාළ උපකාරක පන්තියක් නිමවී තම පා පැදියෙන් නිවෙස කරා පැමිණෙමින් සිටියදී පස්වරු 5.30 ට පමණ මෙම අනතුර සිදුවී තිබිණි.

ශිෂ්‍යයාගේ ඉදිරියෙන් පැමිණි මෝටර් රථය, ඔහුගේ පාපැදියේ ගැටී ඉවතට පැණ පෙරලීගොස්, අසල තිබූ දුරකථන කණුවකද ගැටී නතර වී තිබිණි. අනතුරින් පාපැදියට මෙන්ම මෝටර් රථයටද දැඩි අලාභ හානී සිදුව තිබිණි.

අනතුරින් පසු ශිෂ්‍යයා සේනපුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇතත්, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. අනතුරට ලක් වූ මෝටර් රථයේ රියැදුරු සුළු තුවාල ලබා සිටි බැවින් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රතිකාර සඳහා කලාවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ. ඔහු බීමතින් සිටියාදැයි පරීක්ෂා කිරීමට රුධිර සාම්පල ලබා ගත් බවද ඉපලෝගම

පොලිස් ස්ථානයේ උසස් නිලධාරියකු පැවසීය. එප්පාවල- කැකිරාව මාර්ගය ප්‍රථිසංස්කරණය කර අවසන් වීමෙන් පසු මාර්ග සංඥා නිසි ලෙස සටහන් කර නොතිබීම හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවද, මාරක වංගුවක් මෙන්ම, පදික මාරුවක්ද ඇති එම ස්ථානයේ ඒ සම්බන්ධයෙන් මාර්ග සංඥා නොමැති වීම මෙම අනතුරට හේතුවක් බවද ප්‍රදේශවාසීහු පැවසූහ. තවත් මෙවැනි අනතුරක් සිදු වීමට පෙර ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසද ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. අනතුරින් ජීවිතක්ෂයට පත් පුෂ්පික කසුන්ත සමරතුංග පුතුගේ පියා මාධ්‍යයට මෙසේ පැවසීය. පුතා තුනට පන්තියට ගියා, පන්ති ඉවර වෙන්නේ සවස පහට, මමත් ඒ වෙලාවේ වැඩ ඇරිලා එන ගමන් හිටියේ. පන්තිය පහු වෙලා මීටර 200 ක් විතර දුරින් මම දැක්කා පුතා එනවා. මගේ පොඩි පුතත් මගේ බයික් ඒකේ හිටියා. මම පොඩි පුතාට කිව්වා අයියාට හූ කියලා බායි කියන්න කියලා. අපි පුතාව පහු කරගෙන ගෙදර ගියා. ඒ මම පුතා පහු කරලා මීටර 100 ක් විතර ගියහම තමයි ඔය අනතුර වෙලා තියෙන්නේ. ගෙදර ගිය ගමන් පුතාව හැප්පිලා කිව්වා. මම රෝහලට ඇවිත් බලද්දී පුතා නැති වෙලා කියලා කිව්වා. පුතා කැකිරාව මධ්‍ය විද්‍යාලයේ 10 වසරේ ඉංග්‍රීසී මාධ්‍යයෙන් ඉගෙන ගන්නේ. පන්ති නායකයත් මගේ පුතා. මම කියන්නේ මේකට සාධාරණයක් ඉෂ්ඨ කරන්න කියලා. සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු, තිසර සමල් – නොච්චියාගම

advertistmentadvertistment
advertistmentadvertistment