අධික වේගයෙන් පැමිණි ටිපර් රථය දැක මරුවත් දුවලා!

987

මෝටර් රථය හැමිල්ටන් ඇළට වැටී පස්දෙනකුට තුවාල

නාත්තන්ඩිය මීගමුව ප්‍රධාන මාර්ගයේ තුම්මෝදර හැමිල්ටන් ඇළ හරහා ඉදිවෙමින් පවතින පාළමේදී ටිපර් රථයක ගැටුන මෝටර් රථයක් හැමිල්ටන් ඇළට පෙරලී තිබේ. මෙම අනතුරකින් එකම පවුලේ සිව් දෙනෙක් සහ තවත් අයෙක් තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

අධික වේගයෙන් පැමිණි ඇති මෙම ටිපර් රථය වේගය පාලනය කළ නොහැකිව තවත් මෝටර් රථයක් සහ යතුරු පැදියක් ද අනතුරට ලක් කරමින් හැමිල්ටන් ඇළට පෙරළී ගිය මෝටර් රථයේ ගැටී ඇති බව පොලිසිය පවසයි. 28 වෙනි දින රාත්‍රීි 9.30ට පමණ මෙම අනතුර සිදුවී ඇත. මෝටර් රථයේ ගමන් ගත් එකම පවුලේ මව පියා සහ වයස අවුරුදු 17 ක සහ අවුරුදු 22 ක දියණියන් දෙදෙනා සහ යතුරුපැදියේ ගමන් ගත් අයෙක් මෙම අනතුරෙන් රෝහල් ගත කර ඇත. අනතුරට පත් මෝටර් රථය නාත්තන්ඩිය ප්‍රදේශයේ සිට කෑගල්ල ප්‍රදේශය දක්වා ගමන් කරමින් සිට ඇත. එහිදී විරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක් මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. මෝටර් රථයට බරපතළ හානි සිදුවී ඇත. ටිපර් රථයේ රියැදුරු බීමත්ව අධික වේගයෙන් පැමිණීම නිසා මෙම අනතුර සිදුව ඇති බව මාරවිල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් පවසයි. රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධව මාරවිල පොලිසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන් (68399) ඩබ්ලිව්. එම්. එස්. ටී. කුමාර, පොලිස් කොස්තාපල් (100512) එම්. ඩබ්ලිව්. ඩී ලක්මාල් යන නිලධාරීහු විමර්ශන කටයුතු සිදු කරති.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment