අධිචෝදනා භාරදී ජොන්ස්ටන්ට ඇප දෙයි

104

හිටපු සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට විවෘත අධිකරණය හමුවේදී අධිචෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ඇපමත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ (08දා) නියෝග කළේය.

අධිකරණය විසින් නිකුත් කරන ලද සිතාසි නියෝග අනුව අධිකරණය හමුවේ පෙනී සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු, සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ රාජා මොහිදින් මොහොමඩ් යන විත්තිකරුවන් තිදෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියමකොට මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස සේවකයන් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර වෙනත් කටයුතු සඳහා යොදා ගැනීමෙන් අල්ලස් පනත යටතේ ගැනෙන වැරදි සිදුකිරීම් ඇතුළු අධිචෝදනා 4ක් යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් එම නඩුව පවරා තිබිණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් සිය සේවා දායකයන්ට එරෙහිව විමර්ශන සිදුකර ඇත්තේ එම කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්ගේ අනුමැතිය නොමැතිව බව දැනගන්නට ලැබී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කරන බව එම විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිරෝෂන් සිරිවර්ධන මහතා අධිකරණයට පැවසීය. එම මූලික විරෝධතාවය ලබන නොවැම්බර් 01 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළ විනිසුරුවරයා එදින දක්වා නඩු විභාගය කල් තැබීමට නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment