‘අධිපතිවාදී දේශපාලන පක්‍ෂවල බළල් අතක් ලෙස ශිෂ්‍ය සංගම් ක්‍රියාත්මක වෙනවා’

381

පේරාදෙණිය ශාස්ත්‍ර පීඨ පීඨාධිපති

අධිපතිවාදී මත දරන දේශපාලන පක්‍ෂවල බළල්අත් ලෙස ක්‍රියාකරන ශිෂ්‍ය සංගම්වල සාමාජිකයන් ඉදිරියේදී විශ්වවිද්‍යාල තුළ මනුෂ්‍ය ඝාතන පවා සිදු කිරීමට ඉඩ ඇති බැවින් වහාම මෙම වධක ශිෂ්‍යයන් අත්අඩංගුවට ගෙන ඔවුන් පුනරුත්ථාපනය කළ යුතුව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා කියයි.

ඉකුත් දින කිහිපය තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ හටගත් නොසන්සුන්කාරී ක්‍රියාකලාපය පිළිබඳව ඊයේ (04 දා) මාධ්‍යට අදහස් දක්වමින් පීඨාධිපතිවරයා මෙසේද කීවේය.

පසුගිය 14 වැනිදා මෙම විශ්වවිද්‍යාලයේ ගෙම්බා ආපන ශාලාවේදී ඇතිවූ සිදුවීම පේරාදෙණිය සරසවියට විශාල කළු පැල්ලමක්. එදින නීති අංශයේ නවක සිසු සිසුවියන්ට නවකවදයට සහාය පළකරන ශිෂ්‍ය කණ්ඩායමක් විසින් ඉතා අමානුෂික ලෙස පහරදී තිබුණා. ඒ අය ආහාර ගනිමින් සිටි කෑම පිඟන් පවා විසි කරමින් එම පහරදීම සිදු කරනවා. උගතුන් යැයි කියන ශිෂ්‍යයන් මෙවැනි වධක වැඩ කරන පාදඩ වැඩ කරන ශිෂ්‍යයන් බවට පත්වුණේ කාගේ වරදින් දැයි සොයා බැලිය යුතුයි.

අධිපතිවාදී මත දරන දේශපාලන පක්‍ෂවල බළල්අත් විදියට තමයි මේ ශිෂ්‍ය සංගම් ක්‍රියාත්මක වන්නේ. මෙයාලා කැට හොල්ලලා ඒ පක්‍ෂ පෝෂණය කරනවා. ඊට පස්සේ මේ ශිෂ්‍ය නායකයෝ නඩත්තු වන්නේ ඒ පක්‍ෂවලින්. මේ අය උත්සාහ කරනවා විශ්වවිද්‍යාලයට එන නවක ශිෂ්‍යයන් ඒ අයගේ දේශපාලන මතය සමග එකතු කර ගන්න.

මේ ශිෂ්‍යයන්ට දඩුවම් කරනකොට ඒ අය අපිට තර්ජනය කරනවා. පසුගිය දවසක මගේ මූණටම තර්ජනය කළා ගෝඨාභය රාජපක්‍ෂ පන්නපු අපිට තමුසේ පන්නන එක කජ්ජක් නෙමෙයි කියලා. ඒ විතරක් නෙමෙයි මෙම ශිෂ්‍යයෝ අපේ වාහනවලට පවා හානි කරනවා. දේශපාලන පක්‍ෂවලට සම්බන්ධ මොවුන් ළඟ ආයුධ පවා තිබෙන්නට ඉඩ තිබෙනවා.

ඒ නිසා ඉදිරියේදී මේ අය විශ්වවිද්‍යාලය තුළ මිනීමැරීමට පවා ඉඩ තිබෙනවා. ඒ නිසා මා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා ශිෂ්‍ය වේෂයෙන් පෙනී සිටින මේ මැරයන් වහාම අත්අඩංගුවට ගෙන මොවුන් පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරන ලෙස.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment