අධිබල පුපුරණ ද්‍රව්‍ය බිංගිරියෙන් අල්ලයි : පරීක්‍ෂණ සීඅයිඩීයට

447

ලොරි රථයක සකස් කළ රහසිගත කුටියක සඟවාගෙන අධිබල පුපුරන ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙමළ ජාතිකයන් දෙදෙනෙකු බිංගිරිය විලත්තව දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත.

ඒ අනුව ඊයේ (24 දා) උදෑසන බිංගිරියට ගිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම විමර්ශන කටයුතු භාරගෙන සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ. පෙරේදා (23දා) රාත්‍රී බිංගිරිය විලත්තව පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගත් පුපුරන ද්‍රව්‍ය අතර තිබී අධිබල පුපුරන ද්‍රව්‍ය ඇසිරූ ප්ලාස්ටික් බට 89 ක්, අඩි 80 බැගින් දිගින් යුක්ත සේවා නූල් 21 ක්, ඩෙටනේටර් 900 ක් ඇසුරූ පෙට්ටි 9ක් සොයාගත් බව පොලිසිය පවසයි.

අධිබල පුපුරණ ද්‍රව්‍ය බිංගිරියෙන් අල්ලයි : පරීක්‍ෂණ සීඅයිඩීයට

මෙම පුපුරන ද්‍රව්‍ය තොගය රැගෙන යන්නේ කුමක් සඳහාද යන්න නිශ්චිතව පැවසීමට සැකකරුවන් අපොහොසත්ව ඇති බව විමර්ශන නිලධාරීහු පවසති.

බිංගිරිය විලත්තව පොලිස් මාර්ග බාධකයේ පෙරේදා රාත්‍රී රාජකාරී කරමින් සිටි සැරයන්වරුන් වන (49141) ජූඩ්, (68425) බණ්ඩාර, කොස්තාපල්වරුන් වන (32272) ප්‍රභාත්, (95296) කරුණාතිලක යන නිලධාරීන් සැකකටයුතු ලොරි රථයක් පරීක්‍ෂා කර ඇත.

එහිදී ලොරියේ පිටුපස තට්ටුව ප්‍රදේශයේ රහසිගත කුටියක් ඇති බව හඳුනාගෙන ඇති නිලධාරීන් එය පරීක්‍ෂා කිරීමට කටයුතු කර ඇති අතර එම කුටිය තුළ ඉතාම සුරක්ෂිත ආකාරයට ගබඩා කර තිබූ පුපුරන ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් උපකරණ සොයාගෙන ඇත.

මෙහිදී අත්අඩංගුවට ගත් 33 හැවිරිදි සහ 45 හැවිරිදි වියේ පසුවන දෙමළ ජාතිකයෝ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන් පවසා ඇත්තේ මසුන් මැරීම සඳහා මෙම පුපුරන ද්‍රව්‍ය කුරුණෑගල සිට මන්නාරමට රැගෙන යන බවයි.

එහෙත් විමර්ශන නිලධාරීන් පවසන්නේ ලොරි රථයක් තුළ ඉතාම සූක්‍ෂමව සකස් කළ කුටියක පුපුරන ද්‍රව්‍ය පටවාගෙන රැගෙන යෑම සම්බන්ධයෙන් මසුන් මැරීමට පාවිච්චි කරන බව ප්‍රකාශ කිරීම පිළිගත නොහැකි බවයි. සැකකරුවන් මීට ඉහත දී අපරාධ කිහිපයකට සම්බන්ධ බව ද හෙළිවී ඇත.

කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නෙරංජන් අබේවර්ධන මහතාගේ උපදෙස් මත බිංගිරිය පොලිස් ස්ථානාධිපති හැරිසන් හේමසිරි මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත් විණි.

හේමන්ත රන්දුණු, බිංගිරිය – සෝමසිරි ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment