අධිභාර බද්ද හරහා EPF මුදල් කොල්ලයක් – විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස

146

ආණ්ඩුව විසින් අධිභාර බද්දක් පනවා සේවක අර්ථසාධක අරමුදලේ මුදල් කොල්ලකෑමේ වැඩපිළිවෙළක නිරත වන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) පැවසීය.

පෙරේදා (7 දා) ගෙනා මෙම බද්දට අදාළ ගැසට් නිවේදනය වහාම හකුලා ගන්නැයි ද හෙතෙම 27 (2) යටතේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් සඳහන් කළේය. රුපියල් ටි‍්‍රලියන තුනක් ඇති මෙම අරමුදලේ 2020 වසරේ මෙහි ලාභය දළ වශයෙන් රුපියල් බිලියන 250 ක් බවත්, එම බද්ද පනවා ඉන් රුපියල් බිලියන 65 ක් ලබා ගැනීමට ආණ්ඩුව කි‍්‍රයා කරන බව සජිත් පේ‍්‍රමදාස මහතා කීය. ආණ්ඩුවේ වැඩ ලක්ෂයක් ව්‍යාපෘතියට යොදා ගන්නේ මෙම මුදල් බව පැවසූ විපක්ෂ නායකවරයා ආණ්ඩුව තම ගෝලබාලයින් සප්පායම් කරන වැඩපිළිවෙළ වහා නවත්වන ලෙස ද ඉල්ලා සිටියේය.

වැඩ කරන ජනතාවගේ මුදල්වලට ‘තට්ටු’ කිරීමට වත්මන් පාලකයින් අතීතයේදී ද උත්සාහ කළ බව කී විපක්ෂ නායකවරයා සියයට 25 ක් අධිභාර බද්දෙන් සේවක අර්ථ සාධක අරමුදල සහ විශ‍්‍රාම වැටුප් අරමුදල නිදහස් කරන ලෙස ද ඉල්ලා සිටියේය. මේ අතර මෙරට ඩොලර් සංචිතය ඉතිරිව ඇත්තේ තවත් සති තුනකට පමණක් බව ද විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) කියා සිටියේය. මෙරටට විදේශ භාණ්ඩ ගෙන්වීමට හැකි වන්නේ තවත් සති තුනකට බවත් විදේශ සංචිත එසේ පහළ බැස ඇත්තේ මෙරට ඉතිහාසයේ ප‍්‍රථම වතාවට බවත් හෙතෙම සඳහන් කළේය. අවම විදේශ සංචිත ප‍්‍රමාණයක් තබාගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමට ද නොහැකි තත්ත්වයක් මතුව තිබෙන බැවින් මුදල් ඇමැතිවරයා මේ තත්ත්වයන් සම්බන්ධයෙන් ගන්නා විසඳුම් මොනවාදැයි වහා කිව යුතු බවද විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය ජනවාරි අග වනවිට මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 2.3 දක්වා අඩු වී ඇතැයි ද මෙය ඉතා භයංකාර තත්ත්වයක් යැයි ද පැවසූ සජිත් පේ‍්‍රමදාස මහතා මේ වනවිට දළ වශයෙන් මෙරටට ඇත්තේ ඩොලර් මිලියන 700 ත් 800 ත් අතර සුළු ප‍්‍රමාණයක් බව ද කීය. මේ වනවිට ශී‍්‍ර ලංකා රුපියලේ මුහුණතේ අගය තීරණය කර නොමැති තත්ත්වයක් තුළ ඉතා බරපතළ ආර්ථික අර්බුදයක් ඇති බවට විපක්ෂ නායකවරයා කළ විශේෂ ප‍්‍රකාශයට ආණ්ඩුව ඉදිරියේදී පිලිතුරු ලබා දෙන බව ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment