අධිවේගී ඉදිකිරීම් ගබඩාවට පැන්න යකඩ හොරු බ්ලුමැන්ඩල් ගිනි තබති

514

ආරක්‍ෂකයන්ගෙන් වෙඩි කෑ කතුන් 4 ක් ඇතුළු 9 ක් රෝහලේ

අනවසරයෙන් වරායට පැන්නොත් දැඩි ක්‍රියාමාර්ග – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කොළඹ වරාය හරහා ඉදිවන අධිවේගී මාර්ගයේ ගබඩාවක දේපළ කොල්ලකෑමට පැමිණි පිරිසක් සහ ආරක්‍ෂක නිලධාරීන් අතර පෙරේදා (01 වැනිදා) රාත්‍රි ඇති වූ ගැටුමකින් පසු සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවන් සිව්දෙනකු ඇතුළු 09දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

තුවාලකරුවන් අතර දේපළ කොල්ලකෑමට පැමිණි පුද්ගලයන් ද සිටින බව පොලිසිය පවසයි.

වෙඩි තැබීම සිදුකළ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන් සතු ගිනි අවි පොලිස් භාරයට ගෙන ඇති අතර කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්‍ද්‍ර කුමාර මහතාගේ අධීක්‍ෂණය යටතේ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

වෙඩි ප්‍රහාරවලින් තුවාල ලැබූ පුද්ගලයන්ගෙන් අටදෙනකු ඊයේ සවස් වන විටත් ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් එක් කාන්තාවක් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත් රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මෙම වෙඩි තැබීම පෞද්ගලික ආරක්‍ෂාව යටතේ ්සිදුකළ බව විමර්ශනවලින් හෙළි වී ඇති බැවින් ආරක්‍ෂක නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නොවන බව පොලිසිය පවසයි. මේ පිළිබඳව අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බව ද රෝහල් ආරංචිමාර්ග පැවසීය.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ වරාය නගරය වෙත පිවිසෙන මාර්ගය කොළඹ වරාය මැදින් ගමන් කරන අතර එහි ඉදිකිරීම් කටයුතු විදෙස් සමාගමක් විසින් සිදුකරනු ලබයි.

මෙම ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු සඳහා ගෙන එන යකඩ ඇතුළු අමුද්‍රව්‍ය කොළඹ වරායේ බ්ලූමෙන්ඩල් ප්‍රදේශයේ 06 වැනි ගේට්ටුව අසල ගබඩාවක තැන්පත් කර තබයි.

මෙම ගබඩාවෙන් කාලයක සිට යකඩ ඇතුළු අනෙකුත් භාණ්ඩ සොරා ගැනීම සිදුවන බැවින් ඊට අවි සහිත පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන් යෙදවීමට ආයතනය කටයුතු කර ඇත. පෙරේදා රාත්‍රි කාලයේ අවි සහිත ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනකු එහි ආරක්‍ෂාවට සිට ඇති අතර බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ලෝලීන් දෙදෙනෙකු මෙම ගබඩාවට ඇතුළු වී ඇත.

මත්ලෝලීන් දෙදෙනා එහි යකඩ ඇතුළු අනෙකුත් භාණ්ඩ කීපයක් රැගෙන යෑමට උත්සාහ කරද්දී ආරක්‍ෂක නිලධාරීන් එය වළකා ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බව සැලවීමෙන් පසු මත්ලෝලීන් දෙදෙනාගේ පවුලේ සාමාජිකයන් ඇතුළු බ්ලූමැන්ඩල් පදිංචිකරුවන් පිරිසක් පොලු මුගුරු රැගෙන පැමිණ ආරක්‍ෂක නිලධාරීන්ට පහර දී ඔවුන් භාරයේ සිටි පුද්ගලයන් දෙදෙනා බේරා ගැනීමට උත්සාහ කර ඇත.

ඒ අවස්ථාවේ කීපදෙනෙකු ආරක්‍ෂක නිලධාරීන් සතු ගිනි අවි දෙක ද පැහැර ගැනීමට උත්සාහ කර තිබේ. එහිදී ඇති වූ තත්ත්වය පාලනය කර පෞද්ගලික ආරක්‍ෂාව සඳහා එක් ආරක්‍ෂක නිලධාරියකු අහසට වෙඩි තබා පසුව එහි සිටි පිරිසට ද වෙඩි ප්‍රහාර එල්ල කර ඇත.

මෙම සිද්ධිය සැලවීමත් සමඟම ක්‍රියාත්මක වු වෙරළබඩ පොලිසිය කොළඹ වරායේ 06 වැනි දොරටුව වෙත පැමිණ ඇති වී තිබූ තත්ත්වය පාලනය කර තුවාලකරුවන් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ මෙම සිද්ධියෙන් පසු අධිවේගී මාර්ගය ඉදිවන වරාය ආශ්‍රිත ප්‍රදේශයට දැඩි ආරක්‍ෂාවක් යොදවා ඇති බවයි.

අනවසරයෙන් වරායට ඇතුළුවීමට උත්සාහ නොකරන ලෙසත්, එසේ කළහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් තල්දූව මහතා වැඩිදුරටත් කියා සිටියේය. වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment