අධිවේගී පිවිසුමේදී පොලිසියට චණ්ඩි පාට් දැමූ රවිඳු වෙදාරච්චි අල්ලන්න පරීක්ෂණ

616

වීරකැටිය බැදිගම දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමේදී පොලිස් රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරයේ යෙදුණු බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතාගේ පුත්‍රයා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වීරකැටිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ බව කියන රවිඳු වෙදාරච්චි නමැත්තා තංගල්ල නගර සභාපතිවරයකු ලෙස ද කලක් කටයුතු කළ අයකු බව පොලිසිය පවසයි.

වීරකැටිය බැදිගම අධිවේගී මාර්ග හුවමාරුවේදී පෙරේදා (01 දා) සවස 5.50ට පමණ සිදු වූ මෙම සිද්ධියට අදාළ වීඩියෝපටය මේ වනවිට සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ විශාල වශයෙන් ප්‍රචාරය වෙමින් තිබෙයි.

රවිඳු වෙදාරච්චි යන අය සිය බිරිඳ ද සමග පෙරේදා සවස ඩබල්කැබ් රථයකින් වීරකැටිය බැදිගම අධිවේගී මාර්ග පිවිසුමට පැමිණ ඇත. මෙම කැබ් රථයේ අනාරක්ෂිත ආකාරයට විශාල ශීතකරණයක් රැගෙන යෑමට උත්සාහ කර ඇති අතර පොලිස් නිලධාරීන් ඊට ඉඩ ලබාදී නැත.

එහිදී කෝපයට පත් වී ඇති රවිඳු වෙදාරච්චි සහ ඔහුගේ බිරිඳ පොලිස් නිලධාරීන්ට ඉතාම පහත් ආකාරයෙන් පරුෂ වචනයෙන් බැණවැදී රාජකාරියට බාධා කරමින් කලහකාරි ලෙස හැසිරී ඇත. එහෙත් පොලිසිය මොවුන් ගමන්ගත් කැබ් රථයට අධිවේගී මාර්ගයට පිවිසීමට ඉඩ ලබාදී නැත.

කැබ් රථය පිටුපස පටවාගත් විශාල ශීතකරණය ආරක්ෂාකාරී අන්දමින් රැගෙන යෑමට කටයුතු කරන ලෙස පොලිස් නිලධාරීන් ඔවුන්ට උපදෙස් ලබාදී ඇත.

මෙම සිද්ධියෙන් පසු රවිඳු වෙදාරච්චි සහ ඔහුගේ බිරිඳ පොලිස් නිලධාරීන්ට බැණවැදී ආපසු පිටව ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් විසින් වීරකැටිය පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්

දෙදෙනාගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

වීරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment