අධිවේගී මාර්ගයේ දී සුඛෝපභෝගී ජීප් රථයක් ටයිල් ලොරියක පසුපස ගැටී ගුරුවරියක්  එතැනම මරුට

1275

කොරියන් භාෂා ගුරුවරියක් ගමන්ගත් සුඛෝපභෝගී  ජීප් රථයක් පෙරේදා (23දා) රාත්‍රී කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් 16 දශම 1 සපුගස්කන්ද ප්‍රදේශයේ දී ටයිල් පැටවූ ලොරියක ගැටීමෙන් ගුරුවරිය එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි අතුරුගිරිය රථවාහන පාලක මධ්‍යස්ථානය සඳහන් කරයි.

අධිවේගී මාර්ගයේ දී සුඛෝපභෝගී ජීප් රථයක් ටයිල් ලොරියක පසුපස ගැටී ගුරුවරියක්  එතැනම මරුට

ජීප් රථයේ රියැදුරු සුළු තුවාල ලබා ඇත. අනතුරින් මියගොස් ඇත්තේ කඩවත රම්මුතුගල ගෝනහේන පාර පදිංචිව සිටි ගීතානි මානෙල් ප්‍රියන්ති (47) එක් දරු මවකි. ටයිල් පැටවූ ලොරිය කිලිනොච්චියට යෑම සඳහා මාතර දෙස සිට කඩවත දෙසට ධාවනය වීමේ දී එම දිසාවටම පිටුපසින් ධාවනය වෙමින් තිබු සුඛෝපභෝගී ජීප් රථය ලොරියේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබූ බව පොලිසිය සඳහන් කරයි.

ජීප් රථය ලොරියේ ගැටීමත් සමගම එය සුන්බුන් ගොඩක් බවට පත්වී ඇති අතර ගුරුවරිය හඳුනාගත නොහැකි ලෙස බරපතළ තුවාල සිදුව තිබූ බව පොලිසිය කියයි. අනතුරක් සමග වහා ක්‍රියාත්මක වූ

අතුරුගිරිය අධිවේගිය අනු පාලක මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ බරපතළ තුවාල ලබා ජීප් රථය තුළ සිරවී සිටි ගුරුවරිය ඉන් පිටතට ගෙන රාගම රෝහල කරා ඇතුළත් කිරීමට පියවර ගැනිණි. ඒ වන විටත් ගුරුවරිය මියගොස් සිට ඇතැයි පොලිස් නිලධාරියකු පැවසීය.

අනතුර සිදුව ඇත්තේ කඩවත පිටවීමේ හුවමාරු මධ්‍යස්ථානයට කිලෝමීටර් දෙකක් පමණ තිබියදී බවත් පොලිසිය කියයි.

ජීප් රථ රියැදුරුගේ අපරීක්ෂාකාරි රිය ධාවනය සහ අධික වේගය අනතුරට හේතුව වී ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත. ලොරි රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අධිවේගී රස වාහන රස වාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මයුර පෙරේරා, සහකාර පොලිස් අධිකාරී කපිල අබේනායක මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් අතුරුගිරිය රථවාහන පාලක ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. එස්. අශෝක කුමාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment