අධි ආරක්ෂක කලාප ගැසට් එකට එරෙහිව සජබ උසාවි යයි

70

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අධි ආරක්ෂක කලාප කිහිපයක් ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනය බලරහිත කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා සහ මුජිබර් රහුමාන් යන මහත්වරු ඊයේ (28 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

 රටේ ජනාධිපතිවරයාට රාජ්‍ය රහස් පනත උපයෝගි කර ගනිමින් නව අධි ආරකෂක කලාප පිහිටුවීමේ නීතිමය බලයක් නොමැති බැවින් එකී ගැසට් නිවේදනය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස නීතිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ එම පෙත්සම මගින් ඉල්ලා තිබිණි.

 පාර්ලිමේන්තු සංකීර්ණය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, අගමැති කාර්යාලය (මල්පාර) හා අරලියගහ මන්දිරය ඇතුළු ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක් නව අධි ආරක්ෂක කලාප ලෙස එකී ගැසට් නිවේදනය මගින් නම් කර තිබිණි.

 ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment