අධි චෝදනා භාරගත් ‘පොඩි ලැසීට’ ඇප

284

බූස්ස බන්ධනාගාරයේ දී බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු උසස් නිලධාරීන් කිහිපදෙනකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් දරුණු ගණයේ අපරාධකරුවකු වන අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් ‘පොඩි ලැසී’ නමැති විත්තිකරුට ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්ද්‍යා නානායක්කාර මහත්මිය හමුවේ අධිචෝදනා භාර දෙන ලදී.

හෙරොයින් කිලෝ ග්‍රෑම් 11යි ග්‍රෑම් 800ක් සහ ගිනිඅවි දහයක් ළඟ තබා ගැනීම, මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී 2020. 06. 26 වැනිදා නිරීක්ෂණ චාරිකාවකට පැමිණි බන්ධනාගාර කොමසාරිස් (පරිපාලන හා පුනරුත්ථාපන) ජනක චන්දන ලලිත් බණ්ඩාර, බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම් තුසිත ඉන්ද්‍රජිත් උඩුවර, බන්ධනාගාර කොමසාරිස් (බුද්ධි) විතානගේ ප්‍රසාද් ප්‍රේමතිලක, සහකාර බන්ධනාගාර අධිකාරි (බූස්ස) අහංගම වලවගේ සිරිදත් ධම්මික යන නිලධාරීන්ට තමන් සිරකර තැබුවාට එළියේ සිදුවන තමන්ගේ ක්‍රියාකාරකම් අඩු නොවන බවත් බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාගේ සිට ඕනෑම පුද්ගලයකුගේ ඉරණම මරණය බවත් තමාට එරෙහි වූ ජේලර්වරයා මරා දැමූ බවත් පවසා මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් මෙසේ අධි චෝදනා ගොනු කර ඇත.

අධි චෝදනා ගොනු කිරීමෙන් පසු විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් කරන ලද ඇප ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය විත්තිකරුට රුපියල් 50000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප හතරක් නියම කළාය. විත්තිකරු වෙනුවෙන් නීතිඥ සසික ශිලාන් මහතා සමග නීතිඥ ඈපා අරුණ ශාන්ත මහතා පෙනී සිටියේය. නඩුව කැඳවීම 2023 ජනවාරි 31 වැනිදාට කල් තබන ලදී.

අහංගම සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment