අනගාරික ධර්මපාලතුමාගේ  දෛවය ලියවුණේ  මෙහෙමයි

597

වර්ෂ 1815 පෙබරවාරි මස 19 දින සර් රොබර්ට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා යුද හමුදා මුලාදෑනීන් කිහිපදෙනෙක් ද සමඟ රාත්‍රී භෝජනය ගනිමින් සිටියේය. මෙවේලේ අශ්වාරෝහකයකු පැමිණ ආණ්ඩුකාරවරයාට ඉතා වැදගත් ලියවිල්ලක් භාර දුන්නේය. මේ ලියවිල්ල අතට ගත් ආණ්ඩුකාරවරයාගේ දෑස විමතියෙන් දිලිසෙන හැටි සෙස්සන් දුටුවෝය.

“සිංහල රජ්ජුරුවෝ හිර භාරයට පත්වෙලා”

ආණ්ඩුකාරවරයා සාඩම්බරව කීවේය. සතුටු කඳුළු වගුරමින් තමා සමග සිටි අන් සැමට අතට අත දුන්නේය.

“යුරෝපීය ජාතීන් තුන් වර්ගයකට අවුරුදු තුන්සිය ගණනක් මුළුල්ලේ උත්සාහ කරලත් කරගන්න බැරි උනුදේ අප කළා. ඒකට උපකාර කළ ඔබලාට මගේ අවංක ස්තූතිය පුද කරනවා” යැයි ආණ්ඩුකාරවරයා තවදුරටත් කීවේය.

කතාව ඇත්තය. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යන ජාතීන් ශත වර්ෂ තුනක් මුළුල්ලේ සිංහලේ නමින් හැඳින්වූ ශ්‍රී ලංකාව යටත් කරගැනීමට දරන ලද උත්සාහය සම්පූර්ණයෙන් සාර්ථක වූයේ එදාය. “විජය රජුගේ පැමිණීමේ පටන් අවුරුදු 2357 ක දීර්ඝ කාලයක් මුළුල්ලේ අවිච්චින්නව පැවති සිංහල රාජ්‍යය හා ස්වෛරීභාවය මෙදින ලංකා භූමියෙන් අභාවප්‍රාප්ත වූයේ” යැයි නයිටන් නම් ඉතිහාසඥයා කියා තිබේ.

සිංහලේ රජු සිරභාරයට ගෙන දින දොළහකට පසුව මහනුවර මඟුල් මඩුවේ දී අත්සන් කෙරුණු ගිවිසුම මගින් මුළු ශ්‍රී ලංකාවම බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට සම්බන්ධ කරන ලදී. “සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා කරන බවට ද” බි්‍රතාන්‍ය විසින් මේ ගිවිසුමෙන් පොරොන්දු විය. අනතුරුව 1815 මාර්තු 2 දින සිට එංගලන්තයේ තුන්වන ජෝර්ජ් මහ රජාණන් ශ්‍රී ලංකාවේ රාජශ්‍රීයට පත්වූ බව ප්‍රකාශ කරමින් කාලතුවක්කු වෙඩි මුර පවත්වන ලදී.

එහෙත් මේ ගිවිසුම ප්‍රකාරව ඔවුන් මේ රට පාලනය කළේ නැත. එසේ කියන්නේ කවරෙක් ද? මෙරට මංමාවත් තැනීමේ පුරෝගාමියා වූ මේජර් තෝමස් ස්කිනර් නම් සුදු ජාතිකයාම ලියූ ත්‍සඓහ හැ්රි සබ ක්‍ැහකදබ නම් ග්‍රන්ථයෙන් ඔහු මේ බව ලීවේය. ඔහු ලියා ඇති මේ වැකි බලන්න.

“අවුරුදු කීපයකට පෙර මේ රටේ මනුෂ්‍යයන් සීයට එකෙකුටවත් සුරාව තොල ගෑමට පොළඹවාගත නොහැකි විය. සුරාපානය පැතිරී ගියේය. හැම ගමකම තැබෑරුම් විවෘත විය. වැසියන් සුරාපානයට ඇබ්බැහි කරනු පිණිස මුලින්ම සුරාව නොමිලේ දුන්හ.

මෙසේ කෝපි වගා කරමින්, රටේ සම්පත් සූරාකමින්, ප්‍රභූන් භේද භින්න කරමින්, සුරාවට හරවමින් රටට කරන අනර්ථය ඉවසීමට ජනතාව සූදානම් වූයේ නැත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1817 අගදී කැරැල්ලක් පැන නැගුනි.

ජාතිය කරදරයකට පත් වූ විට සැමදා ජාතිය අවදි කරමින් පෙරමුණ ගන්නේ මහා සංඝරත්නයයි. එදා ද එය එසේම සිදුවිය. එහෙත් එය මර්දනය කරන ලදී. මහනුවර දී අත්සන් කළ ගිවිසුමට විරුද්ධ ලෙස බුද්ධ ශාසනික කටයුතුවලදී රජය ක්‍රියා කිරීම වැසියන්ගේ රාජ්‍ය විරෝධයට හේතු විය. නැවත මාතලේ හා කුරුණෑගල ආශ්‍රිතව කැරැල්ලක් ඇතිවිය.

මෙම කැරලිවලදී දේශීය නායකයින්ට මඟ පෙන්වූ හා අනුශාසනය කළ කුඩාපොල හාමුදුරුවෝ සුද්දන්ගේ සිරභාරයට පත්විය. ලංකා ඉතිහාසයේ නොමැකෙන නමක් තිබූ කුඩාපොල හාමුදුරුවෝ ඉපදුනේ ක්‍රි.ව.1803 සැප්තැම්බර් 04 ඉරිදා උදේ 6.50 වන අතර මේ බව සනාථ කරමින් පැරණි පොතක මේ කවිය ලියවී තිබේ.

වසේ සත්සිය විසිපහේ සක එක්දහස් අවදිය ලදී
මසේ අවතියවකට බිනරය රේවතී මුල පෙද සැදී
රැසේ කන්නිය දෙපැය තිස් නාඩියට වී රවි දිනයෙදී
මෙසේ දිනුවෙය කුඩාපොල හිමි රට නිසා සිය දිවි පිදී


එනම් ශකවර්ෂ 1725 බිනර මස අවතියවක ලත් රවි දින උදයාදී පැය දෙකයි විනාඩි තිහට උන්වහන්සේ කන්‍යා ලග්නයේ උපන් බවයි. 1848 අගෝස්තු 26 දින වෙඩිතබා ඝාතනය කරන ලදී. මුළු රටම සූරාකනු ලැබූ සුද්දෝ ඔවුන්ගේ නම්, ගම් ඇඳුම් පැලඳුම් කෑම බීම් හා ආගමික විශ්වාසයන් ද මෙරට ජනතාව පිට බලෙන් පටවන ලදී. කළු සුද්දන් බිහි වීම ඇරඹුනේ එසේය.

එහෙත් කුඩාපොල හාමුදුරුවන් ඝාතනය කර වසර කිහිපයකට පසුව තවත් පිංවත් කුමරෙක් සිරිලක තුළ ඉපදුණි. එතුමෝ පසු කලෙක තම දිනපොතේ මෙසේ සටහන් කළහ.

“මගේ කේන්ද්‍රයේ හැටියට කොළඹ ප්‍රධාන පන්තියේ බෞද්ධ පවුලක මා ඉපදී ඇත්තේ ක්‍රිස්තුවර්ෂ 1864 සැප්තැම්බර් 17 වෙනිදාය. මා උපදින විට කොළඹ නගරයේ වැඳුම් පිදුම් කරන්නට බෞද්ධ විහාරස්ථානයක් තිබුණේ නැත. පසළොස්වක පෝය දිනයන්හි සිල් සමාදන්වීම සඳහා බෞද්ධයෝ කොළඹ සිට සැතපුම් 10 පමණ දුර පිහිටි කැලණියට යති.”

මෙම දරුවාට උපතින් පල්ලියෙන් ලැබුණු නම දොන් ඩේවිඩ් නම් විය. දොන් ඩේවිඩ් හේවාවිතාරණ නම් තරුණයා වැඩි කලක් නොගොස් ජාතියේ පියෙකු විය. ඒ අන් කවරෙකුත් නොව ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාය.

“සිංහලයනි නැගිටිව්” යැයි එතුමා හඬ නැගීය.

වර්තමාන සිංහලයාට ගැඹුරු ඥානයක් නැත. සුද්දා අඳින ඇඳුම් ඇඳීම, සුද්දා කන ආහාර අනුභව කිරීම, සුද්දා බොන මත්පැන් බීම පමණක් කරන්නට සිංහලයාට ශක්තිය තිබේ. සිංහලයාට ප්‍රඥාව තිබේ නම් සිංහල ජාතිය මේ තරම් පහත බසින්නේ නැත.” කියමින් ජාතිය අවදි කළේය. තවදුරටත් මෙසේ කීහ.

“බුද්ධාගම ආරක්‍ෂා කරන්නට උපන් ජාතිය සිංහල ජාතියයි. වර්ෂ 2500 ක් බුද්ධාගම ආරක්‍ෂා කළ වෙනත් ජාතියක් නැත”

“අප ජාතිය නැතිවීමට මත්පැන් බීම හේතු වී තිබේ”

“වර්ෂ 2538 කිසිම මත්පැන් වර්ගයක් පානය නොකරමින් සිටි සිංහල ජනකාය නැති කර දමන්නට කටයුතු කළේ සර්ව සාධාරණ යැයි කියනු ලබන ඉංග්‍රීසි ජාතිකයෝය.”

ධර්මපාලතුමා රජයේ රැකියාවෙන් ඉවත්වී මුළු ජීවිතයම රට ජාතිය හා ආගම වෙනුවෙන් කැප කළේය. ඉන්දියාවේ බුද්ධගයාව බේරාගත්තේය. බෞද්ධ පාඨශාලා රට පුරාම ආරම්භ කිරීමට
පුරෝගාමී විය. නිදහස් සටනට පණදුන්නේය.

අප කතා කළේ ජාතික වීරයන් දෙදෙනෙකු පිළිබඳවය. මෙහි විශේෂත්වය කුමක් ද? කුඩාපොල හාමුදුරුවෝත් ධර්මපාලතුමාත් ජාතිය අවදි කරවීමටත් නිදහස ලබා ගැනීමටත් ඇප කැපවී ක්‍රියා කළහ. ධර්මපාල තුමා උපදින්නේ කුඩාපොල හාමුදුරුවෝ ඝාතනය කිරීමෙන් පසුවය.

පුදුමය නම් මේ  දෙදෙනාගේම උපන් කේන්ද්‍ර දෙක බොහෝ සෙයින් එක සමාන වීමය.

දෙදෙනාගේම උපන් වේලාවල් ද නැකත් හා පාද ද ලග්නයද බුධ, ශනි, සඳු පිහිටීම් ද සමානය.

මෙයින් වටහා ගත හැකිවන්නේ ජාතික වීරවරයින් නැවත නැවත උපදින බව නොවේද? ඇත්තටම මේ ජාතියට වීරයින් අවශ්‍ය යුගයයි. ධමර්පාල තුමා නැවතත් අප අතර ඉපදේවායි අපි පතමු.

අනගාරික ධර්මපාලතුමාගේ  දෛවය ලියවුණේ  මෙහෙමයි

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්

advertistmentadvertistment
advertistmentadvertistment