අනඟි ‘දියමන්ති’ ඉදිරියේ පවා දියව් නොගිය වැලිපැන්න අධිවේගයේ මනුෂ්‍යත්වය

489

රටක් ලෙස ශී‍්‍ර ලාංකිකයන් සතු මනුෂ්‍යත්වය ලොව වෙනත් කිසිදු රටකට නොදෙවෙනිය. ඒ පිළිබඳ තොරතුරු විදේශීය ජාතික ප‍්‍රකට ලේඛකයන් විසින් මෙරට සම්බන්ධව ලියන ලද පොත පතෙහි පවා සඳහන්ව ඇත. ආගන්තුක සත්කාරයෙහි සමත් යහපත් ගති පැවතුමෙන් හෙබි ජාතියක් වේ නම් ඔවුන් ශී‍්‍ර ලාංකිකයන් බව එහි සඳහන්ය. අනාදිමත් කලක පටන් මෙරට අභිමානය ලෝකය හමුවේ චිත‍්‍රනය වන්නේ ඒ ආකාරයෙන්ය.

එම හැඳින්වීම තව තවත් පිරිපහදු කළ සිදුවීමක් පිළිබඳ පුවතක් ඉකුත් දිනක මෙරටින් වාර්තා විය. දක්ෂිණ අධිවේගී මාර්ග වැලිපැන්න ‘සේවා පියස’ මුල් කර ගනිමින් දිවයින පුවත්පත වාර්තා කර තිබූ එම පුවතින් වැඩිදුරටත් අනාවරණය කර සිටියේ ලෝකු බැංකු උප සභාපතිවරයාගේ බිරිඳට අයත් දියමන්ති ඔබ්බවන ලද මුතු වළල්ලක කොටසක් වැලිපැන්න සේවා පියස තුළ අස්ථානගත වූ බවත් පසුව එහි සේවිකාවක් විසින් එය අහුලා ගැනීමෙන් දින දෙකකට පසු නැවත හිමිකාරිය වෙත ලබා දීමට කටයුතු කළ ආකාරයත් පිළිබඳ ආදර්ශමත් පුවතක්ය.

පුවතකට එහා යන අප‍්‍රමාණ අගයකින් යුත් එම ආදර්ශමත් කතාවේ කතානායිකාව බවට පත් වන්නේ 53 හැවිරිදි දෙදරු මවක් වන ධම්මිකා කල්‍යාණි නාකන්දලය. වැලිපැන්න සේවා පියස ආරම්භ කොට මේ වනවිට වසර 09ක පමණ කාලයක් ගත වී ඇත. ධම්මිකා කල්‍යාණි එහි සේවයට එක් වන්නේ එහි ආරම්භක අවදියේ සිටය. වසර 09ක අප‍්‍රකට සේවා කාලයකින් අනතුරුව ඇය පිළිබඳ රටේම අවධානය යොමු වන්නේ ඉකුත් 06 දා සිදුවූ ඉහත සඳහන් සිදුවීමෙන් අනතුරුවය. මෙරට පමණක් නොව එම සිදුවීමෙන් අනතුරුව ඇය ජාත්‍යන්තර පැසසුමට පවා ලක්වන අතර ඇය විසින් සිදුකළ කි‍්‍රයාව සම්බන්ධයෙන් ලෝක බැංකු උපසභාපතිවරයාගේ බිරිඳ මෙරටින් පිටව යෑමට මත්තෙන් දුරකථන මාර්ග හරහා සිය පෞද්ගලික ස්තුතිය ඇයට පුද කොට ඇත.අගනා මුතු මැණික් පරදන වටිනා කි‍්‍රයාවක් සිදුකළ ධම්මිකා කල්‍යාණි මුණගැසී ඒ පිළිබඳව තොරතුරු දැන ගැනීමේ අටියෙන් ඉකුත් දිනක අප ඇගේ නිවස සොයා ගියෙමු. මතුගම – අලූත්ගම ප‍්‍රධාන මාර්ගයේ වැලිපැන්න අධිවේගී පිවිසුම පසු කොට මඳ දුරක් ගමන්කළ අප වලගෙදර මංසන්ධියෙන් දකුණුපස පිහිටි හේන්පිට මාර්ගයේ තවදුරටත් ගමන් කරන්නට වීමු. අයහපත් කාලගුණය විසින් ඇති කරන ලද බාධා හැරෙන්නට ගමන එතරම් දුෂ්කර නොවීය. අප ඇගේ නිවසට ළඟා වන විටත් ප‍්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයක් දැකගත හැකි විය. ධම්මිකා කළ්‍යාණිගේ නිවස සමීපයේ පිහිටි වෙල්යාය එකම ජල කඳක් ලෙස දිස්විය. ඉන් එපිට පිහිටි දක්ෂිණ අධිවේගී මාර්ගය ඇගේ නිවසට මැනවින් දර්ශනය වෙමින් ඇත.

අප ධම්මිකා කල්‍යාණිගේ නිවස වෙත පැමිණි කාරණය පැහැදිලි කිරීමෙන් අනතුරුව ඉකුත් 06 දා රාජකාරිය අතරතුර ඇය මුහුණදුන් සිදුවීම විස්තර කර සිටින්නට විය. ඇය සිය කතාව පිණිස ආරම්භය ලබා ගත්තේ මේ ආකාරයෙන්ය.

‘‘එදා….. සෙනසුරාදා දවසක්. සති අන්ත දවස් දෙක කියන්නෙ වැලිපැන්න සේවා පියස වඩාත් ජනාකීර්ණ වන දවස් දෙකක්, ඒක අපි අත්දැකීමෙන් දන්න දෙයක්. මම සේවය කරන්නෙ සේවා පියස කොටසෙ. කොළඹ ඉඳල පිට පළාත්වලට ගමන් කරන වාහන නතර කිරීමේ අංගණය අයත් වෙන්නෙ B කොටසට පහුගිය 08 වැනිදා උදේ ඉඳලා විශාල පිරිසක් තම තමන්ගේ වාහන නතර කරලා සේවා පියසට යන එන ආකාරය දකින්න ලැබුණා. ඒ එන හුඟ දෙනෙක් කෙටි විවේකයක් අරගෙන කාලා බීලා ඒ අයගේ සනීපාරක්ෂක කටයුතු ආදිය කරගෙන තමයි නැවත ඒ ස්ථානයෙන් පිටත්වෙලා යන්නෙ. ඒ එන පිරිසට සේවා සහ පහසුකම් සපයන එක තමයි අපේ රාජකාරිය බවට පත්වෙලා තියෙන්නෙ. එදා මම සනීපාරක්ෂක අංශයේ සේවය කරමින් ඉන්න අතරේ පොලිස් නිලධාරි මහත්තයෙක් ඇවිත් මගෙන් ඇහුව V. I. P. අයගෙ පාවිච්චිය පිණිස තියෙන වැසිකිළි පද්ධතිය තියෙන්නෙ කොහෙද කියලා. ඒ වෙලාවෙ මම කිව්ව ටිකට් එකක් අරන් මෙතනින් ඇතුළට යන්න කියල. මොකද ඒ වෙලාවෙ මම තමයි ටිකට් කවුන්ටරේ වැඩ කළේ. ඒ පාර අර පොලිස් නිලධාරි මහත්තයා මගෙන් ඇහුව උඩ තට්ටුවෙ වැසිකිළි පද්ධතියක් නැද්ද කියල. උඩ තට්ටුවෙත් තියෙනව කියල මම උත්තර දුන්නට පස්සෙ ඒ මහත්තයා එතනින් පිටවෙලා යනවත් මම දැක්ක.

අනඟි 'දියමන්ති' ඉදිරියේ පවා දියව් නොගිය වැලිපැන්න අධිවේගයේ මනුෂ්‍යත්වය

ඊට ටික වෙලාවකට පස්සෙ සුදු ජාතික පිරිසක් ටිකට් කවුන්ටරය ළඟට ඇවිත් මුදල් ගෙවල රිසිට් පත් අරගෙන උඩුමහලට ගියා. ඒ ගිහින් ටික වෙලාවකට පස්සෙ ඒ අය උඩුමහලෙන් පහළට බැහැල ගියා. ඒ ආවෙ කවුද මොන වගේ පිරිසක් ද කියලා හොයල බලන්න තරම් විශේෂත්වයක් ඇත්තටම මට තිබුණෙ නෑ. මොකද නිතරම වගේ සාමාන්‍ය ජනතාව වගේම ප‍්‍රභූවරුන්, ජනපි‍්‍රය පුද්ගලයන් වැලිපැන්න සේවා පියසට යන එන එක අපි නිතරම දකින දෙයක්නෙ. විනය, විශ්වාසය, පිරිසිදුකම ඉහළින්ම ආරක්ෂා වෙන අයුරින් ඒ අයට සේවය කරන එක තමයි අපේ වගකීම බවට පත් වෙලා තියෙන්නෙ.’’

තමන් රාජකාරි සිදුකරමින් සිටින ස්ථානයට මඳක් එපිටින් යමක් බිම වැටී තිබෙන අයුරු ධම්මිකා කල්‍යාණිගේ ඇස ගැටෙන්නේ උඩුමහල වෙත ගමන් කළ පිරිස එම ස්ථානයෙන් පිටව ගොස් තරමක වේලාවක් ගත වීමෙන් අනතුරුවය. ඒ වන විටද සනීපාරක්ෂක අංශය වෙත බොහෝ පිරිසක් ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් කිසිවෙක් බිම වැටී තිබෙන්නේ කුමක්ද? යන්න පිළිබඳව විමසිලිමත් නොවීම ද මෙම කතාවේ සටහන් විය යුතු විස්මයජනක කරුණක්ය. විදේශික පිරිස නික්ම ගිය පසු සිදුවූ සිදුවීම් පෙළ පිළිබඳව ධම්මිකා කල්‍යාණි විසින් නැවත විස්තර කරන්නට විය.

‘‘සුදු ජාතික පිරිස පිටත්වෙලා ගිහින් ටික වෙලාවකට පස්සෙ මම දැක්ක යම්කිසි දෙයක් බිම වැටිලා තියෙනව. අපේ කළමනාකාරීත්වය විසින් නිතරම අපිව දැනුවත් කරල තියෙනව මේ ස්ථානයට එන කිසිවෙකුගේ කිසිම දෙයක් අපට අයිති නැහැ එහෙම දෙයක් තිබුණොත් එහෙම තිබෙන බවක් දුටුවොත් ඒක වහාම අයිතිකරුට භාර දෙන්න ඕන. නැත්නම් ඒ පිළිබඳ සටහනක් එක්ක කළමනාකාරීත්වයට බාරදිය යුතුයි කියල. සේවකයන් විදියට අපි ඒ දෙය අකුරටම ඉටු කරන්නත් බැඳිල ඉන්නව. ඒ අනුව තමයි මම ගිහින් බැලූවෙ බිම වැටිල තියෙන්නෙ මොකක්ද කියල. අතට අරන් බලද්දි ඒක මොකක්ද කියල තේරුම් ගන්න බැරි වුණා. මොකද කාන්තා සෙරෙප්පුවල අත්බෑග්වල අලංකාරය පිණිස භාවිතා කරන දෙයක් කියල තමයි මම මුලින්ම හිතුවෙ. කෝකටත් කියල ඒක ඇහිඳගෙන ඇවිත් ටිකට් කවුන්ටරය උඩින් තියල මම මගේ වැඩ ටික කරගෙන හිටිය. මෙහෙම දෙයක් බිම වැටිලා තියෙනව දැක්කද කියලා අහන්නවත් කෙනෙක් ආවෙ නෑ.

‘‘එදා ටිකට් කවුන්ටර ඩියුටිය මට පැවරිලා තිබුණෙ හවස දෙක වෙනකම් පමණයි. ඒ අනුව හවස දෙකට මම සේවයෙන් ඉවත් වුණා. වෙනත් කෙනෙක් තමයි එතැන ඉඳන් වැඩ කළේ. ඒ පාර මම බිම තිබිල ඇහිඳගත්ත කෑල්ල අපි වැඩ කරන තැන ලාච්චුවකට දාලා එතනින් පිටත්ව යනවා. ඒ ගිහින් එදා හවස 6.30ට වැඩ අවසන් කරලා ගෙදර යනවා.’’

මාර්ග 1500ක් ජනතා අයිතියට පැවරීමේ උත්සවය පිණිස සහභාගි වීම සඳහා තංගල්ල බලා පිටත්ව ගිය ලෝක බැංකු නියෝජිත පිරිස නැවත කොළඹ පැමිණ ඇත්තේ එදින සැන්දෑ සමයේදීය. ඒ එන අතරතුර නැවත වැලිපැන්න සේවා පියස වෙත පැමිණ ඇති ඔවුන් එහිදී සේවා පියස A කොටස වැඩ පරීක්ෂකවරයකු අමතමින් සඳහන් කර ඇත්තේ උදෑසන තම කණ්ඩායමට අයත් ලෝක බැංකු නියෝජ්‍ය සභාපතිවරයාගේ බිරිඳට අයත් අත් පලඳනාවක කොටසක් වැලිපැන්න සේවා පියස තුළ අස්ථානගතවූ බවත් ඒ පිළිබඳ තොරතුරක් වෙතොත් ඔවුන්ව දැනුවත් කර ලෙසත්ය. එම තොරතුරු ඔස්සේ වහාම කි‍්‍රයාත්මක වූ වැඩ පරීක්ෂකවරයා ඒ පිළිබඳව සේවා පියස කළමනාකාරීත්වය දැනුවත් කර ඇත. සිදුවීම සම්බන්ධ පසු විපරම් ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. පළමුව කළමනාකාරීත්වය නිවේදනය කර සිටින්නේ විදේශයක සිට මෙරටට පැමිණි ප‍්‍රභූ කාන්තාවකට අයත් ආභරණයක කොටසක් සේවා පියස තුළ අස්ථානගතව ඇති බැවින් ඒ පිළිබඳව තොරතුරක් වෙතොත් කළමනාකාරත්වය දැනුවත්් කරන ලෙසය. එම නිවේදනය නිකුත් කරන විට ධම්මිකා කල්‍යාණි දෛනකි රාජකාරි අවසන් කොට නිවස වෙත ගොස් අවසන්ය. පසුදින උදෑසන නැවත ඇය රාජකාරියට වාර්තා කරන අතර එහිදී තවත් සේවිකාවක් විසින් ඉකුත්දා සිදුවීම පිළිබඳ විස්තරය ඇය හමුවේ පවසා ඇත. ධම්මිකා කල්‍යාණි පවසා සිටි ආකාරයට එතැන් සිට කතාව දිග හැරෙන්නේ පහත සඳහන් ආකාරයෙන්ය.

පහුවැනිදා (ඉරිදා) වැඩට ගියාට පස්සෙ ඔය විස්තරය මට ආරංචි වුණා. ඒ වෙලාවෙම ලාච්චුව ඇරල බලද්දි ඉස්සරින්ද බිම වැටිලා තිබිලා ඇහිඳ ගත්ත කෑල්ල අතට අරන් මට විස්තර කියපු සේවිකාව අතේම ඒක අපේ කළමනාකාරතුමා වෙත යැව්වා. ටික වෙලාවකින් කළමනාකාරතුමා මම ඉන්න තැනට ආවා. ඇවිත් මගෙන් ඇහුව මේක කොහේ තිබිලද ඇහිඳ ගත්තෙ කියලා. ඒ පාර මම සර්ට විස්තරය කිව්ව. ඒ කිව්වට පස්සෙ තමයි අපේ සර් කිව්වෙ මේක අහවල් කාන්තාවට අයිති දියමන්තියක් ඇතුළු වටිනා ගල් කීපයක් ඔබ්බවන ලද වටිනා අත්පලඳනාවක කොටසක් කියලා. කොහොමහරි සෙනෙසුරාදා උදය වරුවේ නැතිවෙච්ච ඒ අත්පලඳනා කොටස ඊට දවස් දෙකකට පස්සෙ පහුගිය 08 වැනිදා ආපහු ඒ සුදු ජාතික කාන්තාවට ලබා දීමට වැලිපැන්න සේවා පියස කළමනාකාරීත්වය කටයුතු කළා. ඇත්තටම ඒක මට වගේම මගේ රටටත් ලොකු ගෞරවයක් ගෙන දුන් සිද්ධියක් ලෙස නිමාවට පත්වීම ගැන මට ලොකු සතුටක් දැනෙනවා….’’

දක්ෂිණ අධිවේගයේ සේවා පියස සුළු සේවිකාවක් වන ධම්මිකා කල්‍යාණි සිය අත්දැකීම අප හා විස්තර කර සිටියේ දැඩි සතුටකින් යුක්තවය. ඇය පැවසූ ආකාරයට එම සතුට මිල මුදලින් වටිනාකමක් දිය නොහැකි සතුටක්ය. ඇය පිළිබඳ සෑහිමකට පත්වන ලෝක බැංකු විදේශීය නියෝජිත පිරිස ඒ පිළිබඳව ඇයට ස්තුතිය පුද කිරීම තුළ ඇය පිළිබඳව මෙරට ප‍්‍රතිරූපය පිළිබඳවත් ලෝකය හමුවේ දැවැන්ත චිත‍්‍රයක් නිර්මාණය කර ඇත. ඔවුන් ඉකුත් දිනක මෙරටින් පිටව ගොස් ඇත්තේ ධම්මිකා කල්‍යාණි පිළිබඳව පෞද්ගලිකව තොරතුරු ආදිය පවා ලබා ගැනීමෙන් අනතුරුවය. අප ඇයගේ නිවසින් පිටත්ව ඒමට පෙර ඇය විසින් අවසන් වශයෙන් ද සඳහන් කර සිටියේ රැකියාවේදී පමණක් නොව කුඩා කල පටන් අන්සතු දෙයක් තමන් සන්තක කර ගැනීම තමන්ගේ පුරුද්දක් නොවන වගත් ගැහැනියක්, මවක් ලෙස රටේම කතාබහට ලක්වූ උතුම් කි‍්‍රයාවක් සිදු කිරීමෙන් ලබන තෘප්තිය මිණිමුතු ආදියට වඩා වටිනාකමින් ඉහළ දෙයක් ලෙස තමා විශ්වාස කරන බවත්ය.

රුවන් ජයවර්ධන / ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment