අනපේක්ෂිත අභියෝගයන් මධ්‍යයේ ලංකා බැංකුව රු.බි. 27.1 ක බදු පෙර ලාභයක් වාර්තා කරයි

223

ලංකා බැංකුවේ මූල්‍ය හා සැලසුම් නියෝජ්‍ය මහා කළමනාකරු රුවන් කුමාර, සභාපති කාංචන රත්වත්තේ, මහා කළමනාකරු ඞී. පී. කේ. ගුණසේකර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහා කළමනාකරු (මානව සම්පත්) කේ. ඊ. ඞී. සුමනසේකර යන මහත්වරු ප‍්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටි අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

අනපේක්ෂිත අභියෝගයන් මධ්‍යයේ වුව ද 2021 ජුනි 30 න් අවසන් වූ මාස හය තුළදී ලංකා බැංකුව රුපියල් බිලියන 27.1 ක බදු පෙර ලාභයක් වාර්තා කිරීමට සමත් වූ බව ඊයේ (12 වැනිදා) කොළඹ ලංකා බැංකු මූලස්ථානයේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය විය.

 එමෙන්ම එදිනට ලංකා බැංකුව වාර්තා කළ බදු පසු ලාභය රුපියල් බිලියන 22.1 කි. 2021 ජුනි 30 වන දිනට බැංකුවේ වත්කම් රුපියල් ටි‍්‍රලියන 3.3 ක් ලෙස වාර්තා වූ අතර, ප‍්‍රතිශතයක් ලෙස එය 11% ක වර්ධනයකි.

 පසුගිය වසර තුළදී ලංකා බැංකුවේ ණය කලඹ රුපියල් ටි‍්‍රලියන 2.0 සීමාව ඉක්මවා ගිය අතර, 2021 ජුනි 30 වන දිනට එය රුපියල් ටි‍්‍රලියන 2.5 ක් ලෙස සටහන් විය. ප‍්‍රතිශතයක් ලෙස එය 16%ක වර්ධනයකි.

 අඩු පොලී අනුපාත තිබියදී වුවද, පසුගිය වසර තුළ ලංකා බැංකුවේ තැන්පතු පදනම රුපියල් ටි‍්‍රලියන 2.6ක් දක්වා වැඩි වූ අතර, එය එය සමස්ත බැංකු ක්ෂේත‍්‍රයේ තැන්පතුවලින් 23% ක වෙළෙඳපොළ කොටසකි. බැංකුවේ ජංගම හා ඉතිරි කිරීමේ තැන්පතු එහි මුළු තැන්පතු පදනමෙන් 35% කට වගකියනු ලැබේ. ලංකා බැංකුවේ සමස්ත ප‍්‍රාග්ධන අනුපාතය 2021 ජූනි 30වන දිනට නියාමන සම්මතයන්ට වඩා ඉහළින් තිබූ අතර, බැංකුවේ ස්ථර 1 ප‍්‍රාග්ධන අනුපාතය සහ සමස්ත ප‍්‍රාග්ධන අනුපාතය පිළිවෙලින් 11.5% ක් සහ 15.0% ක් විය. ණය වාරික ලැබීම ප‍්‍රමාද වන තත්ත්වයකදී වුවද ද්‍රවශීලතාව හොඳින් පවත්වා ගනිමින් ද්‍රවශීලතා අනුපාතයන් නියාමන සම්මතයන්ට වඩා ඉහළින් පවත්වාගැනීමට ලංකා බැංකුවට හැකියාව ලැබිණි.

 තම දිගුකාලීන ස්ථාවරත්වය, ශක්තිය සහ තිරසාර වර්ධනය අඛණ්ඩව පවත්වා ගැනීමට සමත් වූ ලංකා බැංකුව 2020 වසරේ සහ මේ වසරේ මාස හයක කාලය තුළ ප‍්‍රශස්ථ මට්ටමේ ලාභයක් වාර්තා කළ අතර, එය රටේ සමස්ත ආර්ථිකයේ පිළිබිඹුවක් ලෙසින්ද දැක්විය හැකිය.

 එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර තම පූර්ණ අනුබද්ධිත ආයතනයක් පවත්වාගෙන යනු ලබන ලංකා බැංකුව විසින් මාලදිවයින, සීෂෙල්ස් සහ ඉන්දියාව යන රටවල පවත්වාගෙන යන සිය විදේශීය ශාඛා කළමනාකරණය කිරීම සඳහා මෙම වකවානුව තුළ වැඩි ආයාසයක් දරන ලදී.

 2020 වර්ෂය සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රශස්ථම සමාගම් 10 අතරට CIMA/ ICCSL/Daily FTයන ආයතන මගින් නම් කෙරුණු ලංකා බැංකුව, එක්සත් රාජධානියේ The Banker සඟරාව මගින් 2021 වර්ෂය සඳහා ද හොඳම දේශීය බැංකුව සහ ලොව ප‍්‍රමුඛතම සමගම් 1000න් එකක් ලෙස අඛණ්ඩව සම්මානයට පාත‍්‍ර විණි. ඊට අමතරව ලංකා බැංකුව Brand Finance Lanka  සමාගම විසින් අඛණ්ඩව වසර 13 ක් වටිනාම බැංකු සන්නාමය ලෙස නම් කෙරිණි. එමෙන්ම ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් පවත්වන ලද සම්මාන උළෙලෙහි දී හොඳම ආයතනික පුරවැසි තිරසාරභාවය පිළිබඳ සම්මානයට අමතරව, සේවක සබඳතා සඳහා වූ කාණ්ඩයට හිමි සම්මානය, ආර්ථික තිරසාරත්ව අංශය සඳහා සම්මානය (ලාභ), මූල්‍ය කාර්යසාධන කාණ්ඩයේ සම්මානය යන සම්මාන තුනද දිනා ගැනීමට ලංකා බැංකුව සමත් විය. තව ද 2020 වසර සඳහා හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ලැයිස්තු ගත වූ ලංකා බැංකුව SLIM – නීල්සන් සම්මාන උළෙලේදී 2020 – 2021 වසර සඳහා ජනතාවගේ බැංකු සේවා සැපයුම්කරු ලෙසද සම්මානයට පාත‍්‍ර විය.

 ශ‍්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස වසර 82 ක අභිමානවත් ස්ථාවරත්වයක් සහිත ලංකා බැංකුව, මෙරට සෑම තරාතිරමකම ශ‍්‍රී ලාංකිකයන්ට සේවය සලසමින්, වඩාත්ම විශ්වාසදායක බැංකුව ලෙස සිය භූමිකාව සාර්ථකව ඉටු කරයි. දිවයින පුරා පිහිටි පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 2000 කට අධික සංඛ්‍යාවක් මගින් ගනුදෙනුකරුවන් වෙත සේවා ලබාදෙන ලංකා බැංකුව, ඔවුන්ගේ ජීවිත මූල්‍යමය ස්ථාවරත්වයකින් යුතුව ගොඩනගා ගැනීමටත්, රටේ ආර්ථිකය නඟාසිටුවීමටත් උපරිමයෙන් කැපවන බව අවධාරණය කළ යුතුය.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment