අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කර ගන්න එපා – ඇමැති කංචන ඉල්ලයි

266

ඉන්ධන ලබාගැනීමට නව සැපයුම්කරුවන් 6 ක්

රට තුළ දැනට පවතින ඉන්ධන ප්‍රමාණය කළමනාකරණය කර ගැනීමට නම් අනවශ්‍ය ලෙස ඉන්ධන එක් රැස්කර ගැනීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

නව සැපයුම්කරුවකුගෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා තව සති තුනක් පමණ ගතවිය හැකි බවත් ඒ සඳහා නව සැපයුම්කරුවන් හය දෙනෙකු පමණ ඉදිරිපත්ව ඇති බවත් ඔවුන්ගේ මිල ගණන් සලකා බලා බොරතෙල්, ඩීසල් හා පෙට්‍රල් මිලදී ගැනීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම සැපයුම්කරුවන්ගෙන් හතර දෙනෙකු බොරතෙල් සැපයීමටත්, දෙදෙනකු ඩීසල් සහ පෙට්‍රල් සැපයීමටත් ඉදිරිපත්ව ඇති බව පැවසූ ඇමැතිවරයා ඔවුන්ට රුපියල්වලින් මුදල් ගෙවීමට හෝ මාස 03 කට පසු අදාළ මුදල් ඩොලර්වලින් ලබාදීමට රජය යෝජනා කර ඇති බවත් සඳහන් කරයි.

ඉන්ධන හිඟයට පිරවුම්හල් හිමියන් සහ සේවකයන් වගකිවයුතු නෑ

පවතින ඉන්ධන හිඟයට හේතුව ආර්ථික අර්බුදය බැවින් ඒ සඳහා ඉන්ධන පිරවුම් හල් හිමිකරුවන් සහ සේවකයන් වගකිවයුතු නැතැයිද පවසයි.

එබැවින් අනවශ්‍ය ලෙස ඉන්ධන පිරවුම්හල් අසල කලබල නොකරන ලෙසත් ඉන්ධන ගබඩාකර ඇති ටැංකි විවෘත කර පරික්‍ෂා කිරීමට උත්සාහ නොගන්නා ලෙසත් ඉන් සිදුවන්නේ තව තවත් ඉන්ධන සැපයුම් ප්‍රමාදවීම පමණක් බවත් ඇමැතිවරයා පවසයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී ඊයේ (16දා) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

ඉන්ධන දීමට සලාක ක්‍රමයක් ගේනවා

පාරිභෝගිකයන්ට නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් අනිවාර්යෙන්ම ලබාදෙන සලාක ක්‍රමයක් ඉදිරි සති කිහිපය තුළ සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 90 ක්වත් සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වෙනවා.

තෙල් පිරිපහදුව ඊළඟ නැව එනතෙක් තෙල් පිරිපහදුව අඩු මට්ටමකින් පවත්වා ගෙන යන්නේ. බොර තෙල් නෞකාවක් ලබාගැනීම ලෙහෙසි පහසු කාර්යක් නොවෙයි. එක් නෞකාවක් සඳහා ඩොලර් මිලියන 80 ක් පමණ වැය වෙනවා. එක නෞකාවක් ටෙන්ඩර් ක්‍රමයෙන් ලැබී තිබෙනවා. නෞකා 2 ක් වෙනුවෙන් ටෙන්ඩර් පිළිගන්වා තිබෙනවා. තවත් සමාගම් තුනක් සඳහා අනුමැතිය දී තිබෙනවා. නමුත් තවමත් එක සමාගමක් 28, 29 බොරතෙල් නෞකා දෙකක් සැපයීම සඳහා අපිව දැනුවත් කර තිබෙනවා. සමාගම් හතරක් සමග අපි කටයුතු කරනවා. අවශ්‍ය මුදල් සූදානම් කරගෙන තිබෙන්නේ.

අපි ආනයනය කරන ඉන්ධන නෞකාවක ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ දළ වශයෙන් දින 10 කටයි. ඉන්ධන පවතින ඉන්ධන සංචිතවලින් පිරවුම්හල් වෙත බෙදා හැරීමක් කළ විට ඉන්ධන හලකට එය ප්‍රමාණවත් වන්නේ දිනකට හෝ දින දෙකකට නමුත් අවාසනාවකට ජනතාව තුළ පවතින අවිශ්වාසය නිසා දිනකට දෙකකට ලබාදෙන තෙල් ප්‍රමාණය බොහෝ පිරිස් ඉන්ධන තොග රැස්කිරීම නිසා එය ප්‍රමාණවත් නොවන තත්ත්වයට පත්වෙලා. මේ තත්ත්වය පැවතුනහොත් ඉන්ධන පෝලිම් නැවැත්වීමට හැකිවන්නේ නැහැ.

ඉන්ධන බෙදාහරින පිරවුම්හල් පිළිබඳව කලින් දිනයේ වෙබ් අඩවියෙන් දැනුවත් කරනවා. එම පිරවුම් හල් ප්‍රමාණයට ඩීසල් පෙට්‍රල් නිකුත් කරනවා. එදා දිනයේ බෙදාහැරීමට නොහැකිවූ පිරවුම් හල් වෙත පසු දින උදේ බෙදාහැරීමට කටයුතු කරනවා.

බවුසරයකින් වරකට ඉන්ධන ලීටර් 6600 ක් පිරවුම් හලකට යැවෙනවා. එම ඉන්ධන සංස්ථාව ලබාදී ඇති උපරිම සීමාව අනුව නිකුත් කෙරෙනවා. නමුත් එම ඉන්ධන හලට ලැබෙන ඉන්ධන තොගයෙන් පෝලිමේ තිබෙන සියලුම වාහනවලට ඉන්ධන ලබාදීමට හැකියාවක් නැහැ. දිවයින පුරා තිබෙන ඉන්ධනහල් 1140 ටම දෛනිකව ඉන්ධන සැපයිය නොහැකියි. තෙල් තොග තිබුණත් ප්‍රවාහනය කිරීමට ටැංකි තිබෙන්නේ 400 – 450 ක ප්‍රමාණයක්. එමනිසා එක දිනයක සියලුම පිරවුම්හල් වෙත ඉන්ධන දිය නොහැකියි. ඒ වගේම එක් දිනයක තුළ පිරවුම් හලකට යැවෙන තෙල් ප්‍රමාණය එදින අවසන්වූ පසු එදිනම ඒ පිරවුම් හල් වෙත ඉන්ධන සැපයුම් කිරීමට හැකියාවක් නැහැ. එම නිසා සියලුම පිරවුම්හල් වෙත දෛනිකව ඉන්ධන සැපයීමට හැකියාවක් නැහැ.

6600 ක තෙල් තොගයකින් වාහන 2000 කට ඉන්ධන සැපයිය නොහැකි කාරණාවක්. ඒ එක්කම පිරවුහල්වලට ප්‍රමුඛතා අවශ්‍යතා මත තෙල් සැපයුම් කිරීමටත් සිදුව තිබෙනවා. ලංගම ඩිපෝවලින් ලංගම බස්වලට පුද්ගලික බස් රථවලට පාසල් ප්‍රවාහන බස් රථ වෑන් රථ සඳහා ඉන්ධන නිකුත් කරන වේලාවන් වෙන්කර දෙන ලෙස අපි ඉල්ලීමක් කළා. දුම්රිය, වරායට, ධීවර වරායන් සඳහා දෛනිකව ලීටර් 6600 තොග 45 ක් සැපයිය යුතුයි. උපරිම අයුරින් ලබාදෙනවා. ඒවගේම මේ රටේ කර්මාන්ත ශාලා රෝහල් හා අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන සැපයිය යුතු වෙනවා. සියලු අංශවලට හැකි ප්‍රමාණයෙන් ඉන්ධන සැපයීමට කටයුතු කරනවා.

ඇතැම් අංශ ඔවුන්ට අවශ්‍ය මාසික ඉන්ධන අවශ්‍යතාව ඉල්ලා සිටියත් එය ලබාදිය නොහැකියි. දිය හැක්කේ දින දෙක තුනකට හෝ සතියකට ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණය පමණයි.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පිරවුම්හල් අසල කලබල ඇති කරන්න එපා. මේ සඳහා ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් සේවකයන් වගකිවයුතු නැහැ. මෙය කාලයක් තිස්සේ පවතින ආර්ථික අර්බුදයත් සමග නිර්මාණය වූ ප්‍රශ්නයක්. මෙය රටට අලුත් අත්දැකීමක්. ලොව බොහෝ රටවල ඉන්ධන අර්බුදයන්ට මුහුණදී තිබෙනවා.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment