අන්තර්කාලීන පාලනයකට විමල්ගෙන් යෝජනාවලියක්!

320

ඉදිරියේදී පිහිටුවීමට නියමිත සර්වපාක්‍ෂික අන්තර්කාලීන පාලනය සඳහා යෝජනාවලියක් රට හමුවේ ඉදිරිපත් කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඉවත් වීමෙන් පසු නව අන්තර්කාලීන සර්වපාක්‍ෂික පාලනයක් පිහිටුවාගත යුතු බවත් ඒක කරන්න ඕන කොහොමද කියලා අපි මේ යෝජනාවලියෙන් ඉදිරිපත් කර තිබෙන බවත් වීරවංශ මහතා කියා සිටියේය.

විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියේ ඊයේ (12 වැනිදා) පස්වරුවේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා,

ඒ පාලනය මගින් මුලින්ම ජනාධිපතිවරයා හා අගමැතිවරයා තෝරාපත් කරගත යුතුයි. ඒ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් පත්වුණු වහාම සර්වපක්‍ෂික සමුළුවක් පැවැත්විය යුතුයි. ඒ සඳහා විවිධ සිවිල් සංවිධාන, ජාතික සංවිධාන, යම් යම් අදහස් ඉදිරිපත් කරලා තියෙන සිවිල් සංවිධානත් ඇතුළත් කරගත යුතුයි. ඒ සර්වපක්‍ෂික සමුළුවේදී නව ජනාධිපතිවරයා තමන්ගේ වැඩපිළිවෙළ විවෘතව සහ විනිවිදව රටට ඉදිරිපත් කළ යුතුයි. මේ තීරණාත්මක දැවෙන ප්‍රශ්නවලට ඔහු දෙන විසඳුම මොකක්ද කියල රටට හා ජාතියට ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම ඒ වැඩපිළිවෙළට අනුව එය ක්‍රියාත්මක වෙනවද බලන්න මහජන වගවීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු සහභාගිකර ගන්නා ආකාරයට (අනිත් හැම පාර්ශ්වයක්ම නියෝජනය වන ආකාරයට) ජාතික මහජන සභාවක් පිහිටුවිය යුතුයි. එම මහජන සභාව සහ ජාතික විධායක සභාව එක්ව ජාතික ආවේක්ෂණ සභාවක් ක්‍රියාත්මක කළ යුතුයි. ආවේක්ෂණ සභාවක් කියන්නේ ඒ දීල තියෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවාද නැද්ද කියලා විපරම් කරමින් විමසමින් ඒ පිළිබඳව රටට වාර්තා කරන ආවේක්ෂණ සභාවක්. මෙන්න මේ ආකාරයේ යෝජනාවලියක් අපි අද ජනගත කරනවා. මේ ආකාරයට සිදුකළොත් අපි විශ්වාස කරනවා මේ තියෙන අරාජිකත්වයෙන් රට බේරගෙන මහ මැතිවරණයක් තියන්න සුදුසු වාතාවරණයක් ඇති කරන්න පුළුවන් වෙයි කියලා.

ජාතික නිදහස් පෙරමුණ විසින් පිහිටුවීමට නියත සර්වපාක්‍ෂික අන්තර්කාලීන පාලනය සඳහා ඉදිරිපත් කර ඇති යෝජනා මෙසේය.

  1. අන්තර්කාලීන සර්වපාෂික ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩකඩ සලසමින් ජනාධිපතිවරයාට සමාන්තරව අග්‍රාමාත්‍යවරයා වහා ඉල්ලා අස්විය යුතුය. එහිදී ජනවරමක් හෝ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තකින් තොර වර්තමාන අග්‍රාමාත්‍යවරයා යම් හෙයකින් ඉල්ලා අස් නොවන්නේ නම් විශ්වාසභංගයක් මගින් ඉවත් කළ යුතුය.
  2. නව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, අරගලකරුවන්ගේ නියෝජනයක් ද සහිතව සර්වපාක්ෂික සමුළුවක් කැඳවිය යුතුය. එහිදී කෙටිකාලීනව රටේ අර්බුදය සමනය කිරීමේ අවම පොදු වැඩපිළිවෙළක් හා මාර්ග සිතියමක් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යුතු වන අතර, ඒ සම්බන්ධව මහා සංඝරත්නය, අරගලකරුවන්, ජාතික සංවිධාන, සිවිල් සංවිධාන, ආදී පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරන අදහස්, යෝජනා සැලකිල්ලට ගත යුතුය. අනතුරුව අදාළ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම සඳහා ඊට එකඟ වන පක්ෂ සමඟ ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවිය යුතුය.
  3. මහජන වගවීම සහතික කිරීම සඳහා අරගලයේ යෙදී සිටින පාර්ශ්ව නියෝජනය වන ජාතික මහජන සභාවක් පිහිටුවිය යුතු අතර එම සභාව සහ ජාතික විධායක සභාව එක්ව ජාතික ආවේක්ෂණ සභාවක් පිහිටුවිය යුතුය. එම සභාව මගින් ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය ආවේක්ෂණය කළ යුතුය. එම සභා රැස්වීම් ජනමාධ්‍යයට විවෘත කළ යුතුය.
  4. ජාතික එකඟතා ආණ්ඩුවේ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක් පිහිටුවිය යුතුය. එම සභාව විසින් අග්‍රාමාත්‍යවරයා සඳහා නාම යෝජනාවක් ද සීමිත අමාත්‍ය මණ්ඩලයේ ඒ ඒ අමාත්‍ය වගකීම් සඳහා නාම යෝජනාවන් ද ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතුය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් ඇතුළත් වන ආකාරයට අමාත්‍යාංශ කාරක සභා පිහිටුවිය යුතුය.
  1. ජාතික එකඟතා ආණ්ඩුව විසින් ඉදිරි මාස පහක කාලය සඳහා නව අයවැයක් ඉදිරිපත් කළ යුතු අතර ඒ මගින් අත්‍යවශ්‍ය නොවන සියලු සංවර්ධන ව්‍යාපෘති අත්හිටුවීම, ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු කටයුතු සඳහා වැය වන පිරිවැය 50%කින් කප්පාදු කිරීම සහ රාජ්‍ය ආයතනවල අතිරේක දීමනා සීමා කිරීම කළ යුතුය. අමාත්‍යවරුන්ට මන්ත්‍රීවරයකුගේ වරප්‍රසාද පමණක් හිමිවිය යුතුය.
  2. නව අයවැයේ අභිලාෂයන් ඉටුකර ගැනීම සඳහා 2017 විදේශ විනිමය පනත, සියලුම බදු පනත්, ආනයන අපනයන පනත් ආදිය වහා සංශෝධනය කළ යුතුය. මහ බැංකුව මගින් යථාර්ථවාදී මට්ටමක පවතින ලෙස විනිමය අනුපාතය පාලනය කිරීම සහ ඊට සමගාමීව විදේශ නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වර්ධනය කිරීම සඳහා අවශ්‍ය දිරිගැන්වීම් ක්‍රියාත්මක කළ යුතුය. අභ්‍යන්තර මූල්‍ය ස්ථාවරත්වය ගොඩනැඟීම තුළින් මුදල් අච්චු ගැසීම සීමා කිරීම හරහා උද්ධමනය පාලනයට පියවර ගත යුතුය. ඉදිරි වසර 02ක කාලය සඳහා විදේශ ණය ප්‍රතිව්‍යහගත කිරීම සහ යම් ණය වාරික හෝ පොලිය ආපසු ගෙවීම සහ අත්‍යවශ්‍ය ආනයන සඳහා අවශ්‍ය වන විදේශ විනිමය ප්‍රමාණය සහ එම ප්‍රමාණය සපුරා ගන්නා ආකාරය පිළිබඳව සියලු තොරතුරු සහිත මාර්ග සිතියමක් මහජනයාට ඉදිරිපත් කළ යුතුය. එම ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම පාර්ලිමේන්තු මුදල් කාරක සභාවකට පැවරිය යුතු අතර, සමස්ත ක්‍රියාවලියේ විනිවිදභාවය තහවුරු කිරීමට සහ මහජනයාට තොරතුරු ලබාදීමට විශේෂ යාන්ත්‍රණයක් සකස් කළ යුතුය. ඛනිජ තෙල්, ගෑස්, ඖෂධ, පොහොර, කර්මාන්ත අමුද්‍රව්‍ය ආදී අත්‍යවශ්‍ය ආනයන අඛණ්ඩව සැපයීමට අදාළ ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට වහා නැංවිය යුතුය. එහිදී ඉන්දියාවට අමතරව චීනය, රුසියාව සහ ජපානය යන රටවල් සමඟ සාකච්ඡා කිරීම හරහා ඊට අදාළව ණය පහසුකම් සහ ආනයන ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කළ යුතුය. අනවශ්‍ය ආනයන අධෛර්යවත් කිරීම සඳහා බදු පැනවිය යුතුය. කොවිඩ් වසංගත සමයේ සිට බිඳවැටී පවතින පාසල්, විශ්වවිද්‍යාල, තාක්ෂණික ආයතන ඇතුළු අධ්‍යාපන පද්ධතිය විධිමත්ව යථාවත් කිරීම සඳහා වහා පියවර ගත යුතුය. එසේම විදේශ විශ්වවිද්‍යාලවල හා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ලාංකීය සිසුන්ගේ අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගත යුතුය.
  3. සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදුව අත්‍යවශ්‍ය අලුත්වැඩියාවන් කර ක්‍රියාත්මක කළ යුතුය. දීර්ඝකාලීනව තරගකාරී මිලට බොර තෙල් සැපයිය හැකි රටවලින් ටෙන්ඩර් කැඳවීම සහ බොරතෙල් සැපයීමේ හැකියාව සහ මිල අනුව ටෙන්ඩරය ලබාදීම මෙන්ම එම කටයුතු ජාතික ප්‍රමුඛතාව සහිත ව්‍යාපෘතියක් ලෙස කෙටිකාලීනව අවසන් කිරීම සඳහා මාර්ග සිතියමක් රටට ඉදිරිපත් කළ යුතුය.
  4. විදේශ විනිමයෙන් ගෙවීම් ලැබිය හැකි සියලු ආකාරයේ අපනයන හා තොරතුරු තාක්ෂණ සේවා ඇතුළු සේවා සැපයීමට අදාළ ව්‍යවසායකයන් බිහිකිරීමත්, විදේශ රැකියා වෙළෙඳපොළ සඳහා පුහුණු වෘත්තීය ශ්‍රමිකයන් සැපයීමත් තුළින් දැනට උපයන විදේශ විනිමය ඉහළ දැමිය යුතුය.
  5. අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවට අයත් සියලු ඖෂධ ආනයනය සහ තොග පවත්වාගෙන යෑමේ වගකීම රාජ්‍ය ඖෂධ සංස්ථාවට පැවරිය යුතුය. අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ සඳහා මිල පාලනය නැවත පැනවිය යුතු වන අතර විශේෂඥ උපදෙස් මත නිවැරදි ඖෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවිය යුතුය.
  6. දේශීය කෘෂිකාර්මික පද්ධතිය ආරක්ෂා කරමින්, රටේ ආහාර සුරක්ෂිතතාව ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා ජාතික එකඟතා ආණ්ඩුව සිය ප්‍රමුඛ අවධානය යොමු කළ යුතුය. ආරක්ෂක හමුදා, පළාත් පාලන ආයතන, ස්වේච්ඡා මහජන සංවිධාන ආදිය යොදා ගනිමින් ජාතික වගා සංග්‍රාමයක් ප්‍රකාශයට පත්කළ යුතුය. ඊට අදාළ කෘෂි යෙදවුම් රජය මගින් ලබා දිය යුතුය. රට පුරා පවතින 35000ක පමණ වන කුඩා වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම, පොහොර ආනයනය කර පාලන මිලක් යටතේ බෙදා හැරීම, පොහොර සහනාධාරය ගොවියා අතට මුදලින් ගෙවීම, ගොවිජන බැංකුව නැවත පිහිටුවා ගොවි ණය ව්‍යාපෘති නැවත ආරම්භ කළ යුතුය.
  7. ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට ධීවර වරාය ආශ්‍රිතව විශේෂ වැඩපිළිවෙළක් සකස් කොට ක්‍රියාත්මක කිරීම, මාළු ටින් කිරීමේ කර්මාන්තශාලා ජාලයක් හඳුන්වාදීම, මාළු මිල ස්ථාවර කිරීම මුල්කරගෙන රාජ්‍ය සහ පුද්ගලික අංශය දිරිමත් කිරීම සඳහා සහන පැකේජයක් හඳුන්වාදීම දීම.
  8. බිඳ වැටී ඇති දේශීය කර්මාන්ත පද්ධතිය නැවත ගොඩගැනීම සඳහා දේශීය නිෂ්පාදනවලට විකල්ප ලෙස ආනයනය කරනු ලබන නිෂ්පාදන සඳහා විශේෂ පරිභෝජන බදු පැනවීම කළ යුතුය. කර්මාන්තකරුවන් සහ සංචාරක ක්ෂේත්‍රයේ නියළෙන කර්මාන්තකරුවන්ගේ කල්බදු පහසුකම් සහ බංකු ණය පහසුකම්, ආර්ථික කාර්යයන් සඳහා ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යහුගත කිරීම, පොලී සහනාධාරයක් ලබාදීම, දේපළ වෙන්දේසිය සහ දණ්ඩන පොලී අය කිරීම වසර දෙකක කාලයකට අත්හිටුවීම කළ යුතුය. එසේම රාජ්‍ය මිලදී ගැනීම්වලදී දේශීය නිෂ්පාදන සහ සේවා සඳහා ප්‍රමුඛතාව ලබාදීම අනිවාර්ය කළ යුතුය.
  9. ක්ෂුද්‍ර මූල්‍ය ණය ආයතනවල පීඩනයෙන් ගොවියා සහ සුළු පරිමාණ නිෂ්පාදකයන් නිදහස් කර ගැනීම පිණිස ක්ෂුද්‍ර මූල්‍ය ණය වෙළෙඳපොළ තුළ උපරිම පොලී අනුපාතය නියම කිරීම, එසේම දිළිඳු ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම පිණිස නොමිලේ වියළි ආහාර සලාකයක් ලබා දීමට කටයුතු කළ යුතුය.
  10. ද්විත්ව පුරවැසියන්ට රජයේ වගකිවයුතු තනතුරු දැරීම වැළැක්වීම සහ විධායක බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම පිණිස ගෙන ඒමට යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මසක් තුළ සම්මත කළ යුතුය.
  11. රට තුළ පවතින ආපදාව යොදාගනිමින් සතුරු බලවේග විසින් දියත් කරනු ලබන ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුම්වලට ගොදුරු නොවීම සඳහා නව වෙළෙඳ, ආරක්ෂක හෝ ආයෝජන ගිවිසුම් අත්සන් කිරීමේදී බෙහෙවින් සුපරික්ෂාකාරී විය යුතුය. එහිදී සාකච්ඡා ක්‍රියාවලීන්ට සහභාගි වන පාර්ශ්ව රටට එළිදරව් කිරීම, එම ගිවිසුම්වලට අදාළ වාසි සහ අවාසි පිළිබඳව විස්තීරණ වාර්තාවක් සහිතව අදාළ ගිවිසුම් පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම, අත්සන් කිරීම කල් දමා ඇති එම්සීසී, සෝෆා ආදී ගිවිසුම් සහ වෙනත් වෙළෙඳ ගිවිසුම් අත්සන් නොකිරීම ආදිය අතිශය වැදගත්ය. එසේම රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම හෝ රාජ්‍ය පුද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති පිළිබඳ යෝජනා පළමුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු වන අතර, තරගකාරී නොවන ආකාරයට ව්‍යාපෘති අනුමත කිරීම වහාම අත්හිටුවිය යුතුය.
  12. දූෂණ වංචාවලට එරෙහිව ජාතික එකඟතා ආණ්ඩුව ඉහළ ප්‍රමුඛතාවයෙන් යුතුව කටයුතු කළ යුතුය. බැඳුම්කර වංචාවට අදාළව සංශෝධිත අල්ලස් සහ දූෂණ පනත යටතේ නැවත නඩු පැවරීම, පොල් තෙල්, සීනි ආදී මහා පරිමාණ බදු වංචා සහ විදේශීය ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමට අදාළ අක්‍රමිකතා විමර්ශනය කිරීම.
  13. පසුගිය පාලකයන් අයථා ලෙස ඉපයූ ධනය විදේශ රටවල සඟවා තිබේ නම් ඒවා ලෝක බැංකුවේ වංචනික ලෙස ඉපයූ දේපළ නැවත අත්පත් කර ගැනීමේ යාන්ත්‍රණයේ (Stolen Assets Recovery Initiative – The World Bank) සහාය ලබා ගෙන නැවත අත්පත් කරගැනීම සඳහා ජාත්‍යන්තර සංවිධානවල සහයෝගය ද සහිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment