අන්තර්කාලීන සූදුවට අපි සූදානම් නෑ ගෝල්ෆේස් තරුණ අරගලය පාවා දෙන්නේත් නෑ

460

රටට වින කරන ආණ්ඩුවම අපි ගෙදර යවනවා –  නිදහසේ අරගලය අපි දිනවනවා – සජබ කළු මැයි රැලියේදී සජිත් කියයි

හොරුන් එක්ක ආණ්ඩු හදන්න බල කළොත් ඒ අයගේ නම් රටට කියලා මම ගෙදර යනවා

● අන්තර්කාලීන සූදුවට අපි සූදානම් නෑ

● ගෝල්ෆේස් තරුණ අරගලය පාවා දෙන්නේ නෑ

● නූල් සූත්තර දේශපාලනය දැන් හරියන්නේ නෑ

මේ හොරුත් සමඟ ආණ්ඩු කරන්න සූදානම් නෑ. කවුරු හරි මට බලපෑම් කළොත් මේ හොරු හැත්ත එක්ක ආණ්ඩු කරන්න කියලා එහෙම කියන අයගේ තොරතුරු හෙළිකරලා මම ගෙදර යනවා. එනිසා ඉදිරි කාලයේදී කැපකිරීම් කරලා ජනතාවට සේවය කරන්න සූදානම් වෙන්න කියලා මම සියලු දෙනාට දැනුම් දෙන බව විපක්ෂ නායක සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවැති සජබ මැයි රැළිය අමතමිනි.

දින හයක් තිස්සේ මහනුවර සිට පෙළපාලියකින් කොළඹට පැමිණි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පාක්ෂිකයින් හමුවේ තවදුරටත් කථා කළ විපක්ෂ නායකවරයා මෙසේද කියා සිටියේය.

අපි සූදානම් රටේ වගකීම භාර ගන්න. රටේ වගකීම භාර ගන්නවා විතරක් නොවෙයි. රටත් ගොඩනඟනවා. ගොඩ ගන්නවා. රට නව සංවර්ධන යුගයක් කරා ගෙන යනවා. නව නිෂ්පාදන කර්මාන්ත, තාක්ෂණ, රොබෝ තාක්ෂණ හරහා ගොඩනඟනවා. හොරු එක්ක ගිවිසුම් ගහලා රට ගොඩගන්න බෑ. හොර ආණ්ඩු එක්ක කොටස්කාරයොත් එක්ක ගිවිසුම් ගහන්න අපි සූදානම් නෑ. ඩීල් දානවට කැමති නෑ නේද? අන්තර් පාලනයට කැමැති නෑ නේද?

ගෝල්ෆේස් අරගලය පාවා දෙන්න එපා නේද?

අන්තර්කාලීන සූදුවට අපි සූදානම් නෑ. නූල් සූත්තර දේශපාලන හරියන්නෙ නෑ. දැන් බෑග්පිටින් සල්ලි එනවලු ගනුදෙනු කරන්න. මේ හොර හැත්තත් එක්ක අපට ගනුදෙනුවක් නෑ. නෑ නෑමයි. ජනතාව ලබාදෙන ජනතා ආශිර්වාදයෙනුයි අපි මේ රට

ගොඩගන්නෙ.

විකල්ප ආණ්ඩුවක් පත් කරලා ඒ කට්ටියගෙම අය විපක්ෂ නායකකම ගන්න යනවලු. අනේ විපක්ෂ නායකකමත් ගන්න. මේ රටේ දුප්පත්කම අපි තුරන් කරනවා. ඒ තමයි අපි ගහන ඩීල් එක. අපි මේ රටේ ගොවියා, කම්කරුවා, දෛනික කම්කරුවා මම

රැකගන්නවා කියල කියනවා. නිවේදක මහත්තයා කිවා මම කිලෝමීටර් 105 ක් ඇවිද්දා කියලා. මම කිලෝමීටර් 56.8 යි. ඇවිද්දෙ? පුළුවන් නම් මේ නායකයන්ට කියනවා පුළුවන් නම් ඇවිදින්න විතරක් නොවෙයි ජනතාවට සේවය කරලා පෙන්වන්න.

අම්මලා පෝලිම්වල ඉන්නවා කිරි පැකට් ගන්න. කෝටිපතීන්ට මේ ආණ්ඩුව බදු සහන දුන්නා. හොරුන්ට දඬුවම් කරන්න. නීතිය හා සාමය ඇමැතිකම දෙන්නෙ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාටයි. මේ හොර හැත්තත් එක්ක ආණ්ඩුව කරන්න කියලා කිව්වොත් එහෙම කියන අය ගැන හෙළි කරලා මම ගෙදර යනවා. රඹුක්කන තරුණයෙක්ට සිය ජීවිතය අහිමි වුණා. අද වගේ දවසක තමයි මගේ පියා මියගියේ මට දේහයවත් බලන්න බැරිව ගියා. මගේ ඇඟේ යන්නෙ රණසිංහ ප්‍රේමදාසගෙ ලේ. මට දැන් මඩගහන්න පටන් අරන්. මට බල තණ්හාව ඇවිල්ලාලු. මට

අගමැතිකම 19 වතාවක් දෙන්න හැදුවා. මට මගේ ජනතාව විශ්වාසයි. ජනතාවට අපිට බොරු කරන්න බැහැ. මාස තිහක් රට හොරා කෑවා. මේ රාජපක්ෂවරු රට විනාශ කළා. මේ අර්බුදයට වගකිවයුතු රාජපක්ෂලා එක්ක ආණ්ඩු කරන්න සූදානම් නෑ. කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න ඇතුළු හොඳ පිරිසක් අපිට ඉන්නවා. හොඳ කණ්ඩායමක් ඉන්නවා. හොඳ උපදේශකයො ඉන්නවා. හැම අමාත්‍යාංශකම හොඳ උපදේශක මණ්ඩලයක් ඉන්නවා.

මේක අන්තර් සූත්තර ආණ්ඩුවක්. ගාලු මුවදොර තරුණ පිරිස් අරගල කරනවා. ඒ අයගේ අරගලය, අපි භාර ගන්නවා. අපි සර්ව සම්පූර්ණ නෑ. වැරදි අඩුපාඩු හදාගෙන අපි දිවි හිමියෙන් කැපවෙනවා. නව කර්මාන්ත යුගයක් බිහි කරලා උද්ධමනය අඩු කරනවා. අපි ලෝකයත් සමග කටයුතු කරනවා.

සජබ භාණ්ඩාගාරික පා. ම. හර්ෂ ද සිල්වා මහතා: ගෝල්ෆේස් එකේ තරුණයො අරගල කරන්නෙ තරුණයන්ගේ අනාගතය දෙන්න කියලා. ඔවුන්ට හොඳ රැකියාක් හොඳ අනාගතයක් දෙන්න අපි පොරොන්දු වෙනවා. සජබ ඊළඟ රට නංවන ආර්ථික ක්‍රමය අපි සකසලා අවසන්. ඉන්දියන් සාගරයේ කේන්ද්‍රය ලෙස දැනුම හා තාක්ෂණික මත රට ගොඩනගන්න. එමගින් තමයි රැකියා නිර්මාණය කළ හැක්කෙ. තමන්ගෙ ශ්‍රමයට සරිලන ආර්ථික ක්‍රමයක් සැකසීමයි වැදගත්ම දේ. රාජපක්ෂලා සමග එක්වෙලා අන්තර්පාලනයකට යන්න අපි සූදානම් නෑ. සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිස එකතුවෙලා මේ රට ගොඩනගන්න අපි සූදානම්. විශ්වාසභංග ගෙනැල්ලා, දෝෂාභියෝගය ගෙනල්ලා

අපි ගතයුතු පියවර අරගන්න සූදානම්.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය:

මේ ආණ්ඩුවට අවුරුදු දෙකක් ගතවෙලා තිබුණත් මැයි දින රැලියක් පවත්වන්න බැරිවෙලා. ඒ තරමට ආණ්ඩුව පිරිහිලා. දැන් ගෝඨාභය රාජපක්ෂ ගෙට වෙලා මාසයක් ගතවෙනවා. එදා නුගේගොඩ විරෝධතාවයෙන් පසු මේ දක්වා ඔහුට එළියට යන්න බැරිවෙලා. ජනතාවට කිරිපිටි ගන්න විදිහක් නැහැ. ගෑස් නැහැ. පරිප්පු මිල ඉහළ

ගිහින්. මේක ගෙදර අම්මලාට තදින්ම දැනෙනවා.

සජිත් ප්‍රේමදාස යනු බලයට කෑදර කෙනෙක් නෙමෙයි. ඔහු බලයට එන්නේ ජනතා කැමැත්ත මත පමණයි. බලය දුන්නොත් ගන්නව. නැත්නම් ගෙදර යනවා. එහෙම නැතිව ඩීල්වලට කැමැති නැහැ. මහින්දටයි, ගෝඨාභයටයි තව වැඩි කලක් හැංගිලා ඉන්න බැහැ. මේ අන්තිම දවස ජනතාව ජාති, පක්ෂ පාට භේදයකින් තොරව එක්වූදාට එයාලා සිටින තැන්වල බැරියර් කඩාගෙන ඉදිරියට යනවා. රාජපක්ෂලා බයත් එම එකමුතු කමටයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා:

අප පාර්ලිමේන්තුවට ගේන විශ්වාස භංගයට සහ දෝෂාභියෝගයට අත්සන් කරන සහ නොකරන මන්ත්‍රීවරුන් ගැන අපි ෆේස්බුක් හරහා තොරතුරු පළ කරනවා. එනිසා ඊට විරුද්ධව ඡන්දය නොදුන්න මන්ත්‍රීවරුන්ට ගමට එන්න දෙන්න එපා.

ගෝල්ෆේස් හි සිටින නංගිලා, මල්ලිලාට කියනවා

ගෝඨා ෆේල් කියලා මුලින්ම කිව්වේ අප. අපි ඔබගේ විරෝධතාවට ප්‍රණාමය පුදකරනවා. එසේම ගෝඨා මහින්ද එළවනවා වගේම පාර්ලිමේන්තුවේ දෙසිය විසිපහම එපා කියන අයට කියනවා අපි එපා නම් ගෙදර යවන්න. නමුත් මේ රට ගොඩගන්න හැකියාව තිබෙන්නේ සමගි ජනබලවේගයට පමණක් බව අපි මතක් කරනවා. ඒ සඳහා නායකත්වය දිය හැක්කේ සජිත් ප්‍රේමදාසට බව ද මතක් කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා:

නිදහසින් පස්සේ අපි මහා පෙරළියක් කළා. ඩී. එස්. සේනානායක, ජේ. ආර්. ජයවර්ධන, ගාමිණී දිසානායක ගොවි ජනතාවට විශාල සේවයක් කළා. ගෝඨාභය රාජපක්ෂ ගොවියා විනාශ කළා. මේ උද්දච්ඡ ජනාධිපතිට ගොවියගේ ප්‍රශ්න තේරුණේ නෑ. අද අපි සපථ වෙනවා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ ගොවියා රජකරවන යුගයක් නිර්මාණය කරනවා. අද ජනතාව බඩගින්නෙ ඉන්නෙ. දරිද්‍රතාවයක ඉන්නෙ. පෝලිම්වල ඉන්නෙ. අද රාජපක්ෂවරු ගෙදර යන්න ඕනෙ කියලායි කියන්නේ. දේශපාලන ගණිකාවො කවුද කියලා අපි ඊළඟ සතියේ පාර්ලිමේන්තුවේදී පෙන්වනවා. රටේ මිනිසුන්ට බේත් නෑ. බැසිල්ගෙ සල්ලි පාවිච්චි කරලා මන්ත්‍රීවරු බිලිබාගන්න හදනවා. රාජපක්ෂලා ඉන්න ආණ්ඩුවක අපි ඉන්නෙ නෑ. රාජපක්ෂලා මේ රටින් තොලොංචි වුණදාටයි මේ අරගලය නතර කරන්නෙ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා:

1969 අද වගේ දවසක කම්කරුවෝ පාරට බැස්සා. ඇමරිකාවේ ධනපති පංතිය කම්කරුවන්ට වෙඩි තිබ්බා. මේක තමයි කම්කරුවන්ගේ දවස. එදා චිකාගෝ චතුරශ්‍රයේ ඒ සටන කළා. අපි අදත් සජිත්ගේ නායකත්වයෙන් නිදහස් චතුරශ්‍රයේ ඉඳන් රාජපක්ෂලා පන්නන සටන කරනවා. 2019 අපි හිරගෙවල්වලට යනකොට මුළු රටම රාජපක්ෂලා එක්ක. රාජපක්ෂලා හොරු කීවට, මිනීමරුවො කියලා අද මුළු රටම කියනවා. රටම ඒ දේ කියනවා. තරුණයෝ ගෝල්ෆේස්වල ඉඳන් ඒක කියනවා. 1947 ඉඳන් නිදහස් චතුරශ්‍රයේ පවත්වන පළමු මැයි රැලිය මෙයයි. ඊළඟ සතියේ අපි පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නලා රාජපක්ෂ මළබෙරය වයනවා.

සජබ මහ ලේකම් පා. මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා

තුනෙන් දෙකේ බලයක් ගත්ත රාජපක්‍ෂලාට අද මැයි රැළියක් තියා ගන්න බැරිවෙලා. අද මහින්දට අරලියගහ මන්දිරයේ හිර කරලා. ගෝඨාභය ජනාධිපති මැඳුරේ හිර කරලා. 1818 කැරැල්ල ඌව වෙල්ලස්සෙන් ආරම්භ කළේ. අපි මේ සටනක් පටන් ගත්තේ කන්ද උඩරටින් දින හයක් පෙළපාලියෙන් කොළඹට ආවා. ලබන සතියේ මේ ආණ්ඩුව අපි ගෙදර යවනවා.

සජබ සභාපති පා. මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා:

කම්කරුවා සමරන දවස අදයි. අද මේ රටේ සියයට 80 ක්ම කම්කරුවෝ දුෂ්කර ජීවිතයක් ගත කරන්නෙ. රාජපක්ෂ පාලනය ජනතාවගේ ජීවිතය විනාශ කළා. බදු ඉවත් කළා කෝටි 60000 ක්. සීනිවලින් මුදල් වංචා කළා. රාජපක්ෂලා කරපු වංචා දූෂණවල ප්‍රතිඵල අද ජනතතාව විඳවනවා. රාජපක්ෂලා ගැන ජනතාව අද ගණන් ගන්නේ නෑ. ඉදිරි මාස දෙක ඇතුළත රාජපක්ෂලාට මේ රටින් පැනලා යන්න සිද්ධ වෙනවා. සමහරු අන්තර්පාලන ගැන කතා කරනවා. අපේ රජයක් අපට ඕනේ. අපට ජනාධිපති ධුරය, අගමැති ධුරය දෙන්න ඕනේ. රාජපක්ෂලා හොරාකාපු සල්ලි ඔක්කොම ආපසු ජනතාවට ලබාදෙනවා කියලා පොරොන්දු වෙනවා. හොරෙක් නම් දඬුවම් කරනවා.

ශිරාන් රණසිංහ – අකිත පෙරේරා, ඡායාරූප කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment