කාටත් නොදැනීම ඔබගේ ගිණුමේ සල්ලිවලට විදින අලුත්ම කල්ලියක්!

971

අන්තර්ජාලය හරහා වාහන විකුණන්නෙත් ප්‍රවේශමෙන්

සුනිමල් තම ස්කුටි වර්ගයේ යතුරුපැදිය විකුණා ගැනීම සඳහා මෙරට වාහන මිලදී ගැනීම සහ විකිණීම සඳහා ප්‍රසිද්ධ වෙබ් අඩවියක දැන්වීමක් පළ කළේය. ඒ දැනට සති දෙකකට පමණ ඉහතදීය. එම දැන්වීම පළවීමෙන් පසු ඔහුට නන් දෙසින් දුරකථන ඇමතුම් ලැබුණේය. එහෙත් ඔහු පළ කළ මුදලට යතුරු පැදිය ගැනීමට ඇමතුම් ලබා දුන් කිසිවකුත් කැමැති වූයේ නැත. එමනිසා තවදුරටත් ඔහු බලා සිටියේ තමා පළ කළ මුදලටම යතුරු පැදිය විකුණා ගැනීමටයි.

පසුගිය හතර වැනිදා සවස හයට පමණ ඔහුට දුරකථන ඇමතුමක් ලැබුණේය. ඇමතුම ලබාදුන් පුද්ගලයා සුනිමල් සමග ඉතා සුහදව මෙලෙස කතාබස් කළේය.

“මම ශාන්ත. ගාල්ලේ ඉඳලා කතා කරන්නේ. ඔය සුනිමල්ද.”

“ඔව්. සුනිමල් තමයි කතා කරන්නේ.”

“බයික් එකක් විකුණන්න දාලා තිබුණා එක තවම තියෙනවද?”

“ඔව් තවම තියෙනවා.”

“මම දාලා තිබුන විස්තර ටික බැලුවා. ඒ ටික හරි නේද?”

“ඔව් මම දාල තියෙන්නෙ ඇත්ත විස්තර.”

“ඇයි බයික් එක විකුණන්නෙ.”

“අපේ ගෙදර බයික් දෙකක් තියෙනවා ඒකයි එකක් විකුණන්න තීරණය කළේ.”

“ඇත්තටම මම ඒ බයික් එක ගන්නෙ අපේ නෝනට. එයා පින්තූර දැකලා බයික් එකට ගොඩක් කැමති වුණා.”

“ආ එහෙමද? ඒ බයික් එක අපි හොඳට පාවිච්චි කළා. රොකෝඩ් බුක් එකකුත් තියෙනවා.”

“ඒක තමයි බයික් එක ගන්න මම කැමති වුණේ. ගාන පිළිබඳ ප්‍රශ්නයක් නැහැ.”

“ඒක හොඳයි ඇත්තටම මම දාලා තියෙන මිල වෙනස් කරන්න කැමති නැහැ. මිල ටිකක් අඩුවෙන් ඉල්ලලා කෝල් ගොඩක් ආවා. ඒත් මං කැමැති වුණේ නැහැ ඒ ගණන්වලට විකුණන්න. මොකද අද කාලේ බයික්වල ගණන් දන්නවනේ.”

“මිල පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. මම කැමතියි ඒ මුදලට මිලදී ගන්න. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා.”

“ඒ මොකක්ද?”

“ඔයා අදම ඇඩ් එක අයින් කරගන්කො.”

“ඒ මොකද ?”

“නැහැ ඇඩ් එක දැකලා වෙන කවුරුහරි ඉල්ලුවොතින්.”

“ඒක නම් කරන්න බැහැ. මොකද ඔයා බයික් එක ගන්නවා කිව්වට ඇඩ්වාන්ස් එකක්වත් ගෙවල නැහැනේ.”

“නැහැ මම ඇත්තටම බයික් එක ගන්නවා. හෙට වුණත් එන්න පුළුවන්. ඒත් මට ඔෆිස් එකේ නිවාඩු

ගන්න බෑහැ. සෙනසුරාදට මම අනිවාර්යෙන් ඇවිත් සල්ලි දීලා බයික් එක අරගෙන යන්නම්.”

“එහෙම මට කාවවත් විශ්වාස කරන්න බැහැ.”

“හරි හරි මම හෙට රුපියල් පනස් දාහක ඇඩ්වාන්ස් එකක් දාන්නම්.”

“එහෙම ඇඩ්වාන්ස් එකක් දෙනවා නම් මම හෙට ඇඩ් එක අයින් කරගන්නම්.”

“හරි මම හෙට දහය වෙනකොට එ මුදල ඇඩ්වාන්ස් එකක් විදියට දාන්නම්. ඔයාගේ ගිණුම් අංකය මට දෙන්න.”

“හරි මම දෙන්නම්.”

“පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඔන්ලයින් තමයි සල්ලි දාන්නේ. ඒක නිසා ඔයාගේ ගිණුම් අංකයට අමතරව අයිඩින්ටි කාඩ් එකේ ඉඳන් විස්තර ටිකක් මට ඕනා.”

“හරි මම හෙට උදේට සේරම විස්තර දෙන්නම්.”

“හරි එහෙනම් මම තියන්නම්. හැබැයි තව දෙයක් කවුරු ඉල්ලුවත් බයික් එකනම් දෙන්න එපා හෙට දහය වෙනකොට මම සල්ලි දානවා.”

“හරි එහෙනම් මම ශාන්ත කියන වචනේ විශ්වාස කරන්නම්.”

දෙදෙනා අතර සංවාදය එලෙසින් අවසන් විය. එදින සුනිමල් තම බිරිඳට පැවසුවේ තමා පැවසූ මිලට යතුරු පැදිය මිලදී ගැනීම සඳහා ගාල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු කැමැති වූ බවත් හෙට ඔහු රුපියල් පනස්දාහක අත්තිකාරම් මුදලක් ගෙවන බවත්ය.

පසුදින උදාවිය. ශාන්ත සුනිමල්ට දුරකථන ඇමතුමක් ලබාගෙන බැංකු ගිණුම් අංකය සහ තවත් තොරතුරු කිහිපයක් ලබා ගත්තේය. අවසානයේ ඔහු පැවසුවේ දහය පමණ වන විට අත්තිකාරම් මුදල ගිණුමට බැර කරන බවයි.

දහය පසු වී පැය බාගයක් පමණ ගත වූ පසු ශාන්ත සුනිමල්ට දුරකථන ඇමතුමක් ලබාගෙන මෙලෙස විමසුවෙය.

“මම ඔයාට සල්ලි දැම්මා. ෆෝන් එකට එස්එම්එස් එකක් ආවද?”

“තවම ආවෙ නැහැ.”

“වෙන්න බෑනේ මම සල්ලි දැම්මානෙ. එහෙනම් බලන්න බෑන්ක් එකෙන් වෙන මොකක් හරි එස්. එම්. එස්. එකක් ඇවිල්ලද කියලා.”

“මොනවද අංක වගයක් ඇවිල්ලා තියෙනවා.”

“එහෙමද? ඒ සිකුරුටි කෝඩ් එක වෙන්නැති. ඒක මට දෙන්න.”

“ඇයි ඒක ඔයාට මම දෙන්නේ.”

“නැහැ නැහැ වරදවා හිතන්න එපා. මම මගේ එකවුන්ට් එකට සිකුරුටි එකක් දාලා තියෙන්නෙ. ඔය අංක ටික මම එන්ටර් කළාට පස්සේ තමයි ඔයාගේ එකවුන්ට් එකට සල්ලි වැටෙන්නේ. දන්නවනේ අද කාලේ කාවවත් විස්වාස කරන්න බැහැනේ. එක නිසා අපි පරිස්සම් වෙන එක හොඳයිනේ.”

“ඔව් ඒකනම් හොඳයි. මටත් සමාජයේ අත්දැකීම් ගොඩක් තියෙනවා ඔය වගේ. ඒක නිසා මම දැන් ගොඩක් පරිස්සමෙන් ජීවත් වෙන්නේ.”

“ඒක තමයි හොඳම විදිහ. මට අර ආපු අංක ටික දෙන්න. ඊට පස්සේ පස්සෙ ඔයාගෙ එකවුන්ට් එකට සල්ලි වැටෙයි.”

“හරි ඉන්න මම කියන්නම්.”

ඒ අනුව සුනිමල් තම ජංගම දුරකථනයට ලැබුණු රහස් අංක

වගයක් ශාන්තට පැවසුවේය. ශාන්ත ඒ සියල්ල පැහැදිලිව ලියා ගෙන අවශ්‍ය වුණොත් නැවත කතා කරන්නම් කියා දුරකථනය විසන්ධි කළේය.

පැය භාගයක් පමණ ගත විය. සුනිමල්ගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබුණි. එයින් කියැවුණේ ඔහුගේ ගිණුමෙන් ලක්ෂ පහක මුදලක් අඩු වී ඇති බවයි. දෙපාරක් තුන් පාරක් නොව හය හත් වටාවක් ඔහු එම කෙටි පණිවුඩය දෙස බැලුවේය.

අවසානයේ ඔහු පුදුමයෙන් පුදුමයට පත්විය. ඒ තම ගිණුමෙන් එතරම් මුදලක් එක්වරම අඩු වූයේ කෙසේද යන්න පිළිබඳව සිතා ගැනීමට නොහැකිවයි. “බැංකුවට වත් වැරදිලා ද?” ඔහුට එලෙසත් සිතුණි.

“හරියටම වුණ දේ ගැන බලා ගන්න බැංකුවට ඇමතුමක් දීල බලන්න ඕනා.” ඒ අනුව ඔහු තම බැංකු ශාඛාවට දුරකථන ඇමතුමක් ලබාගෙන මෙලෙස විමසුවෙය.

“මම සුනිමල් කතා කරන්නේ. මේ……… බැංකුවෙන්ද කතා කරන්නේ.”

“ඔව් සර් ඒ බැංකුවෙන් තමයි කතා කරන්නේ. සර්ට මොන දෙයක් සම්බන්ධයෙන් ද දැනගන්න ඕනා.”

“මට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ.”

“අපේ බැංකුවෙන්ද?”

“ඔව්, මගේ එකවුන්ට් එකෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් අඩුවෙලා කියලා එස්. එම්. එස්. එකක් ආවා. එහෙත් අද මම එකවුන්ට් එකෙන් රුපියලක්වත් ගත්තෙ නැහැ.”

“එහෙම වෙන්න බෑහැ සර්. සල්ලි නොගෙන සල්ලි අඩු වුණා කියලා එස්. එම්. එස්. එකක් කවදාවත් එන්නේ නෑහැ.”

“ඒක තමයි මටත් පුදුම.”

“හරි අපි පරික්ෂා කරලා බලමු. මට සර්ගෙ එකවුන්ට් නම්බර් එක දෙන්න.”

සුනිමල් තම ගිණුම් අංකය එම බැංකු නිලධාරියාට ලබා දුන්නේය. නිලධාරියා ගිණුම් අංකය පරික්ෂා කර බලා පැවැසුවේ ඔන්ලයින් හරහා ලක්ෂ පහක මුදලක් එම ගිණුමෙන් වෙනත් ගිණුමකට බැර කර ඇති බවයි. එය ඇසීමත් සමග ඔහුගේ ඉහමොළ රත්විය. එක්වරම ඔහුට මතකයට නැගුනේ යතුරු පැදිය මිලදී ගැනීමට ඇමතුම ලබාදුන් පුද්ගලයා ගැනයි. ඔහු තමාව රවටා වංචාවක් සිදුකර ඇති බව සුනිමල් තේරුම් ගත්තේය. ඒ පිළිබඳ සියලු විස්තර ඔහු බැංකු නිලධාරියාට ද පැවසුවේය. එහිදී බැංකු නිලධාරියා පැවසුවේ ඒ පිළිබඳව නීත්‍යනුකූල පියවරක් ගැනීමට ඔවුන්ට ඉඩකඩ නොමැති බවයි. එහෙත් මේ පිළිබඳව පොලිසියට ගොස් පැමිණිලි කරන ලෙසට ඔහු උපදෙස් ලබා දුන්නේය.

සුනිමල් අදාළ පොලිස් ස්ථානයට ගොස් මේ පිළිබඳ පැමිණිල්ලක්ද දැමුවේය. එහෙත් මේ වන තුරුත් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි විය. ඒ ඔහු එතරම් සූක්ෂම අයුරින් මුදල් ලබා ගෙන ඇති නිසාය.

මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර සොයා බැලීමේදී අපට අනාවරණය වූයේ එම සැකකරු විසින් ඉතාමත් සූක්ෂම අයුරින් සුනිමල්ගේ සියලුම ගිණුම් තොරතුරු ලබාගෙන අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කර ගැනීමේ

ගිණුමක් සකසා ඇති බවයි. එම ගිණුම සැකසූ පසු රහස් අංකය සුනිමල්ගේ ජංගම දුරකථනයට පැමිණියත් එයත් ඉතා සූක්ෂම අයුරින් එම සැකකරු ඔහුගෙන් ලබා ගෙන සියලු තොරතුරු වෙනස් කර ගිණුමක් සාදාගෙන එලෙස මුදල් ලබාගෙන ඇති බවයි.

නිසකවම එම සැකකරු හෝ එයට සම්බන්ධ පිරිස මෙවැනි වංචාවක් සිදු කළ පළමු අවස්ථාව මෙය නොවේ. එම නිසා ඔබත් ප්‍රවේසම්වන්න. ඒ මන්දයත් මෙවැනි වංචනික පුද්ගලයන් සමාජයේ තවත් බහුලව සිටින නිසාවෙනි.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment