අන්තර්ජාල අපරාධය : 15 හැවිරිදි දැරිය නැව් කපිතාන් සහ සහායක හඳුනාගනී

512

අන්තර්ජාලය ඔස්සේ බාල වයස්කාර 15 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගතකර සිටියදී හඳුනා  ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ පෞද්ගලික නැව් සමාගමක නාවික කපිතාන්වරයා සහ සහායක කපිතාන්වරයා වින්දිත දැරිය විසින් ඊයේ (15 දා) හඳුනාගනු ලැබූහ.

කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ප‍්‍රදීපා ලෝචනී අබේවික‍්‍රම වීරසිංහ මහත්මිය හමුවේදී පැවති එම හඳුනාගැනීමේ පෙරට්ටුවේදී වින්දිත දැරිය විසින් එම සැකකරුවන් දෙදෙනා ඉතා පහසුවෙන් හඳුනාගෙන තිබිණි. එලෙස හඳුනාගැනීමේ පෙරට්ටුවෙන් අනතුරුව ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන් බව ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

එකී කරුණු සහ එම සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනීසිටි නීතිඥ චාන්දන ලියනගේ සහ නීතිඥ ඉන්දික අතුරලිය යන මහත්වරුන් කළ ඉල්ලීම සලකා බැලූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය දැඩි ඇප කොන්දේසි පනවා ඔවුන් ඇප මත මුදාහැරීමට නියෝග කළාය.

එක් අයකුට රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ 25 බැගින් වූ ශරීර ඇප නියම කළ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය ඇප ලබා ගැනීමෙන් අනතුරුව සෑම ඉරිදා දිනකම පෙරවරුවේ ළමා හා කාන්තා කාර්යාංශය හමුවේ පෙනී සිටින ලෙසට ද ඇප කොන්දේසියක් පනවනු ලැබුවාය. ඉදිරි විමර්ශනවලට හෝ පැමිණිල්ලේ සාක්‍ෂිවලට අහිතකර අන්දමින් යම්කිසි බලපෑමක් කළ බවට වාර්තා වුවහොත් ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වනතුරු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන බවට ද අතිරේක මහෙස්ත‍්‍රාත් ලෝචනී අබේවික‍්‍රම මහත්මිය එහිදී එම සැකකරුවන්ට අවවාද කළාය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment