අන්තර්වාර ආණ්ඩුවකින් රට ගොඩගත හැකිද…..?

462

රට මුහුණ දී ඇති දරුණු ආර්ථික අර්බුදයත්, ඒ එක්කම ඇති වී තිබෙන ජනතා විරෝධය මේ වන විට දේශපාලන අර්බුදයක් බවට පත් වෙමින් ඇත. පාලකයන් එළවීමට ජනතාව පාරට බැස ඇති බවක් පෙනී යයි. මෙම ගැටලූවලට විසඳුමක් වශයෙන් පවතින ආණ්ඩුව (කැබිනට් මණ්ඩලය) විසුරුවා හැර අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ දරමින් සිටී. එම උත්සාහයද ජනතාවගේ විවේචනයට ලක්ව ඇත. ආර්ථිකයේ සත්‍ය තත්ත්වය හා අන්තර්වාර ආණ්ඩුවකට මේ රට ගොඩදැමිය හැකිද කියන ගැටලූව පිළිබඳ සාකච්ඡාවකට අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය ආනන්ද ජයවික‍්‍රම මහතා සම්බන්ධ කර ගත්තෙමු.

අන්තර්වාර ආණ්ඩුවකින් රට ගොඩගත හැකිද.....?
මහාචාර්ය ආනන්ද ජයවික‍්‍රම
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

මහාචාර්යතුමනි, රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කළොත්?

අපේ රට මේ වන විට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. නිෂ්පාදනය කඩා වැටෙනවා. වෙළෙඳපොළ කඩා වැටෙනවා. පුද්ගලයන්ට තම පැවැත්ම සහතික කරගැනීමට ප‍්‍රමාණවත් ආහාරපාන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රට තුළ නෑ. රටේ මූල්‍ය වෙළෙඳපොළ අවිනිශ්චතතාවයට පත් වෙලා. රටට විදේශ ආයෝජකයන් පැමිණෙන්නේ නෑ. කොටස් වෙළෙඳපොළ බිඳවැටෙනවා. රටෙහි ණය ශ්‍රේණිගත කිරීම් පහත වැටිලා. ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් ණය ආධාර ලබාගැනීමට නොහැකි මට්ටමට තත්ත්වය උග‍්‍ර වෙලා. රජයේ ආදායම පහත වැටිලා. අයවැය හිඟය ඉහළ ගිහිල්ලා. රටෙහි ඩොලර් සංචිත හිඳිලා. රාජ්‍ය ණය තොගය තිරසර නොවන මට්ටමට වැඩි වෙලා. මිල ස්ථායිතාව ආරක්ෂා කරගැනීමට නොහැකි වෙලා.

පසුගිය මාස කිහිපය මුළුල්ලේ භාණ්ඩ හා සේවාවන්හි මිල මට්ටම දරුණු ලෙස ඉහළ යමින් පවතිනවා. නිල සංඛ්‍යාලේඛන අනුව 2022 ජනවාරි හා පෙබරවාරි මාසවල රටෙහි සමස්ත උද්ධමන අනුපාතිකය සියයට 17 ක් දක්වා ඉහළ ගිහින්. එම සංඛ්‍යා අනුව ආහාර ද්‍රව්‍යවල උද්ධමනය 25%ක් වෙනවා. නමුත් ජනතාවට දැනෙන උද්ධමනය ආණ්ඩුව කියන උද්ධමනයට වඩා අතිශයින්ම ඉහළයි. ආහාර ද්‍රව්‍ය 60ක් යොදා ගනිමින් ආහාර ද්‍රව්‍ය සඳහා විකල්ප උද්ධමන අනුපාතිකයක් මම ගණනය කළා. මෙම භාණ්ඩවලට සහල්, වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ, මිරිස් ඇතුළු කුළුබඩු වර්ග, එළවළු වර්ග, මස් මාළු හා බිත්තර වර්ග සහ කිරිපිටි වර්ග ඇතුළත්. 2021 මාර්තු මාසයට සාපේක්ෂව 2022 මාර්තු මාසයේ තුන්වන සතිය තුළ සහල් වර්ග 5ක මිල සියයට 56කින්ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 12ක මිල සියයට 55කින්ද මිරිස් ඇතුළු කුළුබඩු වර්ග 11ක මිල සියයට 41කින්ද උඩරට හා පහත රට එළවළු වර්ග 13 ක මිල සියයට 31 කින්ද මස්, මාළු, බිත්තර ටින්මාළු ඇතුළු භාණ්ඩ වර්ග 15ක මිල සියයට 49 කින්ද කිරිපිටි වර්ග 4ක මිල සියයට 97 කින්ද ඉහළ ගොස් තිබෙනවා. සුදුසු බර තැබීමක් සහිතව ඉහත ආහාර ද්‍රව්‍ය 60 යොදාගනිමින් ගණනය කරන ලද උද්ධමන අනුපාතය 2022 මාර්තු මාසයේ තුන්වන සතියේදී 52%යි. මෙය පවතින උද්ධමනයේ අවම තත්ත්වය නිරූපණය කරන සංඛ්‍යාවක්. එයට හේතුව මෙම ගණනය සඳහා යොදා ගන්නා ලද්දේ පිටකොටුවේ මැනිං වෙළෙඳපොළෙහි දත්ත වීමයි. අනෙකුත් ප‍්‍රදේශවලට යන විට මෙම මිල මට්ටම් තවත් ඉහළ යන බව පැහැදිලි කරුණක්. ඒ අනුව ජනතාව මුහුණ දෙන ආහාර උද්ධමනය සුළුපටු නැහැ.

ඒ පමණක් නොවෙයි, ඛනිජ තෙල් මිල දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මේ වන විට පෙට‍්‍රල්, ඞීසල් හා භූමිතෙල් මිල ගණන් ජනතාවට දරාගැනීමට නොහැකි මට්ටමට ඉහළ ගිහින්. ඒක ගන්නත් දින ගණන් පෝලිම්වල තැපීමට ජනතාවට සිදු වෙලා. ගෑස් මිල ජනතාවට ගෑස් පෙන්වන මට්ටමට පත් කරලා. රට පුරාම ගෑස් පෝලිම්. ඛනිජතෙල් හා ගෑස් මිල ඉහළ යෑම තවත් වට ගණනාවකින් භාණ්ඩ මිල ඉහළ යෑමට මුල් වෙනවා. මේ වන විට ඖෂධ මිල ගණන් සීග‍්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. රු. 800ට පමණ තිබුණු ඉන්හේලර් එකක මිල මේ වන විට රු. 3000ට වඩා වැඩියි. දිනෙන් දින පැයෙන් පැය මොහොතින් මොහොත මිල ඉහළ දමමින් පාරිභෝගිකයා ගසා කෑමට වංචනිකයන්ට මාවත විවෘත කරලා ආණ්ඩුව අත පිහ දාගෙන ඉන්නවා. එත් එක්කම ඉවක් බවක් නැතිව අවිචාරවත් ලෙස මුදල් අච්චු ගැසීම හරහා රටෙහි මුදල් තොගය කෘතිම ලෙස ඉහළ නංවා උද්ධමනාත්මක පීඩනය වැඩි කරලා තියෙනවා.

අනෙක් පැත්තෙන් රටෙහි ආර්ථික වර්ධනය අඩපණ වෙලා. කෘෂිකර්මාන්ත නැත්තටම නැති කරා. අමුද්‍රව්‍ය ආදිය හිඟය නිසා කර්මාන්ත අංශය බිඳවැටිලා. සිමෙන්ති සහ ගොඩනැගිලි ද්‍රව්‍ය හිඟකම නිසා ඉදිකිරිම් ක්ෂේත‍්‍රය කඩා වැටිලා. ඛනිජතෙල් හා වෙනත් අතුරු නිෂ්පාදන ක්ෂේත‍්‍ර රාශියක් බිඳවැටිලා. සෑම අංශයක්ම මේ ආකාරයෙන් විනාශයේ මාවතට තල්ලූ කරලා. එදාවේල ක‍්‍රමයට ආර්ථිකය කළමනාකරණය කිරීම නිසා ඇති වූ බලශක්ති අර්බුදය හේතුවෙන් සමස්ත නිෂ්පාදන යාන්ත‍්‍රණයම බිඳවැටෙමින් තිබෙනවා. නිෂ්පාදනය අඩාළවීමත් සමඟම රැකියා වියුක්තිය ඉහළ නගිමින් පවතිනවා. ආදායම් මාර්ග අහිමිවීම නිසා දුප්පතුන් අන්ත දුප්පත් වීමත් දුප්පතුන්ගේ ලැයිස්තුවට අලූතින් එකතු වෙන පිරිසක් දකින්න ලැබෙනවා.

තකතීරු විදිහට විනිමය අනුපාතය ස්ථාවරව පවත්වා ගැනීමට දරන ලද උත්සාහයත් අයථා ගනුදෙනුත් නිසා පසුගිය වසර දෙකක පමණ කාලයේදී පාලකයන් විසින් කාබාසිනියා කළ හා පිල්ලි ගැසූ ඩොලර් ප‍්‍රමාණය ඩොලර් බිලියන හත අටකට අධිකයි. අද වන විට ඩොලරකට දිය යුතු රුපියල් ප‍්‍රමාණය 310 ඉක්මවා ගිහින්. මෙම තත්ත්වය නිර්මාණය වූයේ කිසිදු සූදානමක් නොමැතිව හිටිහැටියේ රුපියල පාවීමට ඉඩහැරීම නිසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිය හැකිව තිබුණු නිර්දේශයන්ගෙන් ඔබ්බට ගිහින් රුපියල අතහැර දැමීමක් ආණ්ඩුව කළේ. රටට යෝග්‍ය නව අගයක රුපියල ස්ථාවර කරගැනීමට රජය තවදුරටත් අසමත් වෙලා තිබෙනවා.

⋆ මෙම ආර්ථික අර්බුදයේ බලපෑම කුමන ස්වෑපයක් ගන්නේද?

මේ වන විට ආර්ථික අර්බුදය ලොකු, කුඩා, බාල, මහලූ දුප්පත් පොහොසත් ආදී සියලූ කණ්ඩායම්වලට ඉතාමත් අහිතකර ආකාරයෙන් බලපාලා තියෙනවා. විශේෂයෙන්ම සමාජයේ දුප්පත්ම කණ්ඩායම හා මධ්‍යම පාන්තිකයන් දැඩි පීඩනයකට ලක් වෙලා. ඔවුන්ට තම දෛනික අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට නොහැකි වෙලා තියෙනවා. ළඟ එන උත්සව සමයේ තම අඹුදරුවන් ඥාතිමිත‍්‍රාදීන් සමඟ නම්බුකාර ලෙස සතුටින් ජීවත් වීමට තිබුණු අවස්ථාව අද වන විට අහිමි වෙලා. අත දරුවන්ට කිරිපිටි අහිමි කරලා. අවුරුද්දට දරුවන්ට හරිහමන් විදිහට කෑමබීම ඇඳුම් පැළදුම් සරිකර දීමට දෙමාපියන්ට නොහැකි වෙලා. ජනතාවට දැන් මේක දරා ගන්න අමාරුයි. ඒ නිසයි ආර්ථික අර්බුදය නිර්මාණය කරපු එවුන්ට විරුද්ධව උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය වෙලා තියෙන්නේ.

මේවනවිට කැබිනට් මණ්ඩලය විසුරවලා. අලූත් ඇමැතිවරු පත් කරනවා. අන්තර්වාර රජයක් පිහිටුවීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා කටයුතු කරනවා. ඔබ දකින විදිහට මේ මඟින් ආර්ථික අර්බුදය නිමා කළ හැකිද?

එය බැරෑරුම් ප‍්‍රශ්ණයක්. නමුත් එම ප‍්‍රශ්නයට මට දිය හැකි සරල හා සෘජු පිළිතුර වන්නේ නැත යන්නයි.

⋆ ඇයි ඔබ කියන්නේ අන්තර්වාර රජයකයට මේ ආර්ථිකය ගොඩදාන්න බැහැ කියලාද?

එසේ කීමට හේතු රාශියක් තිබෙනවා. එකක් තමයි ඔය කියන අන්තර්වාර රජය පත් කරන ආකාරය. ජනාධිපතිවරයා පත් කළ කැබිනට් මණ්ඩලය අගමැතිවරයාට ලියුම් දී ඉල්ලා අස්වෙනවා. සමස්ත කැබිනට් මණ්ඩලය ඉවත් කිරීමට අවශ්‍ය නම් අගමැතිවරයා ඉල්ලා අස්වීම ප‍්‍රමාණවත්. අගමැතිවරයා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වුවහොත් ඔවුන්ම නැවත පත් කිරීමේ නෛතික හා සදාචාරාත්මක ගැටලූවක් පවතිනවා. ඒ වගේම අගමැතිවරයාට නැවතත් පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට සිදු වෙනවා. ඒක ආණ්ඩුවට මෙම අවස්ථාවේදී අවදානම්කාරි නිසා අමාත්‍ය ධූර දරන පුද්ගලයන් වෙනස් කිරීම පමණයි මෙම අන්තර්වාර ආණ්ඩුවේ වෙනස. රවුම් බෝතලයක තිබුණු වයින් හතරැස් බෝතලයකට දාලා දෙනවා වගේ වැඩක් මේක. ඒ කියන්නේ මෙම අන්තර්වාර රජය උපන් ගෙයිම ප්‍රෝඩාවක්.

රොත්ත බුරුත්ත පිටින් ඇමැති මණ්ඩලයට පත් වුණු රාජපක්ෂවරු මේ රට විනාශ කළ බව ජනතා මතයයි. ඔවුන් ජාතික ධනය පිල්ලි ගැසූ බවට නැගෙන චෝදනා එමටය. එවන් වටපිටාවක අමාත්‍ය මණ්ඩලයේ සිටින රාජපක්ෂවරු ගණන අඩුකළ පමණින් ඔවුන් නිිර්මාණය කරලා තියෙන ආර්ථික අර්බුදය නිම වන්නේ නෑ. ඒකට හේතුව මෙම ආර්ථික අර්බුදයේ මහ මොළකරු හෝ මහ මොළකරුවන් තවමත් යහමින් බලයේ වැජඹෙන නිසා. සිතළු මත ආර්ථිකය කළමනාකරණය හා හැසිරවීමට යෑමෙන් සෑම ක්ෂේත‍්‍රයකම අර්බුද නිර්මාණය කළේ කවුද? එක දවසින් සමස්ත කෘෂිකර්මාන්තය කාබනික කිරීමට ගොස් ගොවියා සහ ගොවිතැන නැති කළේ කවුද? ආර්ථිකයක හැසිරීම පිළිබඳ අබ මල් රේණුවක දැනුමක් නැති තම බාල සොහොයුරා මුදල් ඇමැති කළේ කවුද? මහා බැංකු අධිපති හා මුදල් මණ්ඩලය හසුරවමින් ආර්ථික ප‍්‍රතිපත්ති උඩුයටිකුරු කළේ කවුද? හිතවතුන්ට ගජමිතුරන්ට බදු සහන දෙමින් මිලියන ගණනින් බදු ආදායම දියකර හැරියේ කවුද? විනිමය අනුපාත නිසි අවස්ථාවේදී ගළපා නොගැනීමෙන් විනිමය අර්බුදයක් නිර්මාණය කළේ කවුද? කුණු පොහොරවලට වන්දි ගෙවා නැව් ප‍්‍රමාද ගාස්තු ගෙවා මිලියන ගණනින් ඩොලර් කාබාසිනියා කළේ කවුද? උද්දච්ඡ මන්ද මානසිකත්වය මත ජාත්‍යන්තර ආයතන සමග නිසි අවස්ථාවේ නිසි පරිදි ගනුදෙනු නොකොට ජාත්‍යන්තර මූල්‍යකරණයෙන් රට ඈත් කළේ කවුද? විද්‍යානුකූල සාධක මත තීරණ ගන්නවා වෙනුවට හදි හූනියං සාත්තර මත රට කරවීමට ගොස් ඇණ ගත්තේ කවුද? මේවා ගෝලීය වශයෙන් ඉස්මතු වූ ව්‍යසනයන් නොවේ. එම සියල්ල නිර්මාණය කළේ ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ ආණ්ඩුවයි. එවන් අය මුල් පුටුවේ තබාගත් අන්තර්වාර රජයකට කළ හැකි කිසිවක් නැහැ.

⋆ නමුත් ආණ්ඩුව කියනවා විපක්ෂයේ සිටින දැනුම් තේරුම් ඇති දක්ෂයන්ට මෙම අන්තර්වාර රජයේ තනතුරු දීලා මෙම ආර්ථික ගැටලූව විසඳන බව. ඒ වගේ ප‍්‍රවේශයකින් මෙම ගැටලූව ළිහා ගන්න බැරිද?

ආණ්ඩුවේ ප්‍රෝඩාව එතනින්ම හෙළි වුණා. අගමැති ඉදිරියේ අස්වුණා. ජනාධිපති ඉදිරියේ එම තනතුරේම දිවුරුම් දුන්නා. අද දිවුරනවා. හෙට ලියුමක් ලියලා අස් වෙනවා. මැජික් පෙන්නනවා වගේ. කාවද මේ ගොනාට අන්දන්න හදන්නේ? අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඒකට සැලසුමක් තියෙන්න ඕන. අරමුණ මොකක්ද? කවුද සම්බන්ධ වන්නේ? කාටද වගකීම් පවරන්නේ? ගෝඨාභයගේ අන්තර්වාර ආණ්ඩුව ගේන්න හදන්නේ කිසිම සැලැස්මක් නැතිව. කිසිම වැඩපිළිවෙළක් නැතිව. ඒකයි මං කීවේ මේක අමු ප්‍රෝඩාවක් කියලා. මේක විපක්ෂයේ දේශපාලන නායකයන්ට විශේෂයෙන්ම සජිත් පේ‍්‍රමදාසට ඇට වු උගුලක්. එයට සම්බන්ධ වුණොත් ඒ අයත් දේශපාලනිකව විනාශ කරන දේශපාලන උගුලක්.

අපි දැන් ඉන්නේ අඳුරේ අතපත ගාමින් විසඳුම් හොයන අවස්ථාවක නෙමෙයි. තම විෂය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති සෘජු හා ක්ෂණික තීරණ ගැනීමට හැකියාව ඇති අය කැබිනට්ටුවට අවශ්‍යයි. එවැනි දෙයක් මේ පත් කිරීම් හරහා පෙනෙන්නේ නෑ. තමන්ගේ හා තම කණ්ඩායමේ බුද්ධි බෙලහීනත්වය දන්නා ආණ්ඩුව සමහර විට විපක්ෂයේ කවුරු හරි ඉලක්ක කරගෙන මේ නාටකය කරනවා වෙන්න ඇති. අපි මොහොතකට හිතමු එහෙම පුද්ගලයෙකු විපක්ෂයෙන් හරි ජාතික ලැයිස්තුවෙන් හරි අරගෙන මුදල් ඇමැතිකමට පත් කරගත්තා කියලා. හැබැයි ඒ සැණින් මේ ආර්ථික අර්බුදය නිමා වෙන්නේ නෑ. ඒකට හේතුව ආර්ථික තීරණ මුදල් ඇමැතිවරයා කවුද කියන එක මතට වඩා ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ හා සැලසුම් මොනවාද යන්න සහ ඒවායේ සුසංයෝගීතාව මත තීරණය වන නිසා. මම දන්න විදිහට එහෙම වැඩපිළිවෙළක් රාජපක්ෂ පාලනයට නෑ.

එවැනි වැඩපිළිවෙළක් හැදුවත් ඒක රාජපක්ෂවරුන් එක්ක ක‍්‍රියාත්මක කරන්න බැරි වෙනවා. ඒකට හේතුව ඒ අයට නීතියකට ක‍්‍රමවේදයකට වැඩකිරීමේ හුරුවක් හා ඕනෑකමක් නොමැති වීම. ඒ වගේම උත්ගතව ඇති ජනතා විරෝධය හමුවේ රාජපක්ෂවරු පසුපස පාදයේ ක‍්‍රීඩා කළ ද රට නැවතත් යථා තත්ත්වයට පත් වෙනකොට සුපුරුදු සෙල්ලම පටන් ගනීවි. අනිත් එක ජනතාව දැන් රාජපක්ෂවරු කියන කිසිම දෙයක්

පිළිගන්නේ නැති මට්ටමට පත් වෙලා. බොරු අහල රැවටිලා ජනතාව දැන් හෙම්බත් වෙලා ඉන්නේ. ඉතිං ආණ්ඩුවේ නායකත්වය ජනතාව පිළිනොගන්නා තත්ත්වයක අලූත් මුදල් ඇමැතිවරයෙකුට කළ හැකි කජ්ජක් නෑ. රාජපක්ෂවරුන්ට එක් වෙලා ආර්ථිකය ගොඩදැමීම කෙසේ වෙතත් කළ දුටු කල වළ ඉහගැනීම මැනවයි සිතන අය මේ තනතුරු භාරගන්න සූදානම් ඇති. නමුත් ඉතාමත් ඉක්මනින් ඔවුන්ද රාජපක්ෂවරුන් සමඟම ජන හදවත්වලින් මැකී යෑම වැළැක්විය නොහැකියි. ආචාර්ය උපාධිය ඇත්තන් මුදල් ඇමැති වනු ඇති. නමුත් රටෙහි ආර්ථිකය හැසිරවීම කට්ටඬි ලළනා උපදෙස් මත දිගටම සිදු වෙනු ඇති. එවැනි ප‍්‍රවේශයකින් ආර්ථිකයක් ගොඩදමන්න කොහෙත්ම හැකියාවක් නැහැ.

සාකච්ඡා කළේ –
සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment