අන්තර් කාලීන ආණ්ඩුවකට සජබ – ජා.ජ.බ. කොන්දේසි – ‘ගෝඨා ගෝ’ දෙගොල්ලෝම කියති

235

තවත් යෝජනා කිහිපයකුත්

“සජිත් ප්‍රේමදාස මැතිතුමා අගමැතිකම බාර ගන්න සූදානම්. හැබැයි ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන්න ඕන. හේතුව මේ ජනාධිපතිවරයාට ජාත්‍යන්තර සහ දේශීය පිළිගැනීමක් නැහැ. එය කවුරුත් දන්නා කාරණාවක්” බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (11දා) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

අපි විසින් විශ්වාසභංග යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එකක් අගමැතිතුමා ඇතුළු ආණ්ඩුවට විරුද්ධව, අනිත් එක ජනාධිපතිතුමාට විරුද්ධව. මේ වනවිට අගමැතිතුමා ඉල්ලා අස්වී තිබෙන නිසා ආණ්ඩුවට හා අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කරන විශ්වාසභංගය අවශ්‍ය නැහැ. ජනාධිපතිතුමාට විරුද්ධව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව විතරයි ඕනෑ.

ඊයේ පක්ෂ නායක රැස්වීමක් කැඳවන්න තිබුණා. එය ජනාධිපතිතුමාට විරුද්ධව ඉදිරිපත් කරපු විශ්වාසභංග යෝජනාව විවාද කරන දිනය නියම කරන්න තිබුණා. නමුත් කථානායකතුමා හදිසියේ එය අවලංගු කළා. එහිදී මහ ලේකම් පොරොන්දු වුණා එම යෝජනාව විවාද කරන්න ලබන සතියේ පුළුවන් කියලා. ඒ අනුව ලබන සතියේ ජනාධිපතිතුමාට විරුද්ධව තිබෙන විශ්වාසභංග යෝජනාව ගන්න පුළුවන්.

අද රටේ ජනතාව අහන දෙයක් තමයි ජනතාව ආරක්ෂා කරන්න බැරි තමන්ගේ මැති ඇමැතිවරුන්ගේ ජීවිත, දේපළ ආරක්ෂා කරන්න බැරි ජනාධිපතිවරයෙක් මොකටද කියලා. අපි දැක්කා රජය ජනතාවගේ දේපළ සහ ජීවිත ආරක්ෂා කරන්න තීරණය කළේ පැය 24ක් ප්‍රමාද වෙලා. ඒ තුළ පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ජීවිත දේපළ විනාශ වුණා. අද මේ ප්‍රශ්නය අහන්නෙ ආණ්ඩුවේම අයයි. ලබන සතියේ හිතුවට වඩා විශාල ඡන්ද ප්‍රමාණයකින් විශ්වාසභංගය ජය ගන්න පුළුවන් කියලා අපි හිතනවා.

අපේ රටේ නීතිය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය විමසා තිබෙනවා. අරලියගහ මන්දිරයෙන් ආපු මැරයන්ගේ පහරදීම් ගැන වහාම පරීක්ෂණයක් කරලා එයට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් දෙන්න කියලා. ඇත්තටම අපේ රට මුහුණ පා තිබෙන ආර්ථික ප්‍රශ්නවලට අමතරව අනවශ්‍ය ප්‍රශ්න මේ රජය ඇති කරගත්තා. අපි කවුරුත් දන්නවා ගෝල්ෆේස් විරෝධය ඉතාම සාමකාමී එකක්. එය මාසයක් තිබුණා. කිසිම ගලක් ගැහුවේ නැහැ. එය වියතුන් ඉන්න අරගල ව්‍යාපාරයක්. අරලියගහ මන්දිරයෙන් ආපු මැර කණ්ඩායම එය සම්පූර්ණයෙන් විනාශ කළා. එයට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මම දැක්කා නීතිපතිවරයා නින්දෙන් නැගිටලා වගේ පරීක්ෂණ කරනවා කිව්වා. අපි කියනවා නිදොස් කොට නිදහස් සංකල්පයෙන් ඈත් වෙලා වැරදි කරපු අයට දඬුවම් දෙන්න. එය පිටුපස ඉන්න සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන්න. ඇතැම් නීතිඥ මහත්වරුන් හිටපු අගමැතිවරයාටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් දැනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරල තිබෙනවා. නමුත් රජයෙන් මේ සම්බන්ධයෙන් පියවරක් ගත යුතුයි.

අද පණිවිඩයක් ආවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාකච්ඡා ආරම්භ කළා කියලා. ඒ අය පැහැදිලිව කියල තියෙනවා ආධාර කරන්නේ අලුත් ආණ්ඩුවකට කියලා. අපි ජනාධිපතිතුමාට කියනවා රටට වධ දෙන්නේ නැතුව අලුත් පරිච්ඡේදයක් අලුත් ආරම්භයක් කරගන්න. රට ගැන ජනතාව ගැන කල්පනා කරලා අවශ්‍ය සහාය ලබා දීලා ධුරයෙන් නික්ම යන්න කියලා.

ජනාධිපතිවරයා ආරක්ෂක ඇමැති. අරලියගහ මන්දිරයේ සිටි අය විනාඩි 5න් අරගල භූමියට ගියේ නැහැ. එයට පැයක් විතර ගත්තා. ඒ කාලයේ නතර කරන්න තිබුණා. අපි රූපවාහිනියෙන් දැක්කා ගෝල්ෆේස් එක ළඟ පොලිසියේ අය අත්වැල් බැඳ බැරියර් එකක් දාලා තිබුණා. නමුත් එය හිතාමතා බුරුල් කරලා ඒ පිරිසට යන්න ඉඩ දුන්නා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දේපල විනාශ කිරීම් ගැන මා කනගාටු වෙනවා. කවුරුත් දේශපාලනයට එන්නේ තමන්ගේ දේපළ විනාශ කරගන්න නෙමෙයි.

අද අගමැතිවරයා කියන්නේ පඹයෙක්. පාර්ලිමේන්තුවට සත පහක බලයක් නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා පඹයෙක් වෙන්න සූදානම් නැහැ. ඊයේ මහ බැංකු අධිපතිතුමා හමුවුණා. එතුමා කියලා තියෙනවා තව සුමානයකට විතරයි සල්ලි තියෙන්නේ කියලා. අලුත් ආණ්ඩුවක් ආවේ නැත්නම් එතුමා ඉල්ලා අස්වෙන බව කියලා තියෙනවා. රට තිබෙන්නේ භයානක තත්ත්වයක බව අප තේරුම් ගත යුතුයි. අපි මේ ආණ්ඩුව බාර දෙනවිට 2019යේ ඇමරිකානු ඩොලර් මිලියන 7900ක් එක්ක බාර දුන්නේ. මේ රටේ නිදහස ලැබුණ දා ඉඳලා ආණ්ඩු කිහිපයක් තිබුණා. කිසිම ආණ්ඩුවක් රට බංකොලොත් කළේ නැහැ. එසේ කළ එකම ආණ්ඩුව මේ ආණ්ඩුවයි. ආත්ම ගරුත්වයක් තියෙනව නම් ඉල්ලා අස්වෙන්න ඕනෑ.

ජාජබ

රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය අවසන් කර රට නව මඟකට ගැනීම සඳහා ආණ්ඩුවක් පිහිටුවීමට ජාතික ජන බලවේගය සූදානම් යැයි එම බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (11දා) සඳහන් කළේය.

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම කුඩා බැවින් අනෙකුත් පක්ෂවල සහාය ඒ සඳහා අවශ්‍ය බව කී හෙතෙම එසේ වන්නේ නම් රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය තුරන් කිරීම සඳහා අන්තර්කාලීන ආණ්ඩුව භාර ගැනීමට සූදානම් බව ද පැවසීය. එසේ නොවන්නේ නම් වත්මන් පාර්ලිමේන්තුව තුළ වෙනත් පක්ෂයක නායකත්වයෙන් යුත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට හැකි බවත් එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එහි කොටස්කරුවන් නොවී විපක්ෂයේ සිට ඊට සහාය දක්වන බවත් අනුර කුමාර දිසානායක මහතා කීවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් එම ධුරයෙහි තබාගෙන සිදු කරන කිසිදු කටයුත්තක් රට තුළ ස්ථාවර භාවය ඇති කිරීමට හේතු නොවන බැවින් ඔහු වහා ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු බව ද හෙතෙම පැවසීය.

වර්තමාන දේශපාලන අර්බුදය නිමා කොට රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම සඳහා වන ජාතික ජන බලවේගයේ කෙටිකාලීන යෝජනා මාලාවක් මෙහිදී අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ අතර, එහි වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතු බවත් දැනට අගමැතිවරයකු නොමැති තත්ත්වයක් තුළ කථානායකවරයා තාවකාලික වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කළ යුතු බවත් දැක්වේ.

එසේම වර්තමාන ආණ්ඩුවත් වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතියත් තවදුරටත් ජනවරම නියෝජනය නොකරන සහ ආණ්ඩුව පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳවැටී ඇති බැවින් වත්මන් පාර්ලිමේන්තුවේ සිදුකරන කවර හෝ වෙනසක් ජනතාව පිළිනොගන්නා බව එහි සඳහන් කර ඇති අතර එබැවින් මාස 06ක් තුළ නව ජන වරමකින් නව ආණ්ඩුවක් පිහිටුවීමට යෝජනා කර ඇත.

ඒ අතරතුර කාලය සඳහා තාවකාලික පාලන ව්‍යුහයක් ලෙස කොටස දෙකකින් යුතු යෝජනා ඉදිරිපත් කර ඇත.

(අ) වත්මන් දේශපාලන අර්බුදය හා අරාජිකත්වය නිමා කරමින් රට නව මඟකට ගැනීමේ වගකීම බාරගැනීමට ජාතික ජන බලවේගය සූදානම් බැවින් ජාතික ජන බලවේගය ප්‍රධාන වගකීම දරමින් පාර්ලිමේන්තුව තුළින් තාවකාලික අන්තර් කාලීන ආණ්ඩුවක් බාධාවකින් තොරව පත්කර ගැනීමට අවශ්‍ය ඉඩකඩ ජාතික ජන බලවේගයට ලබාදීම,

(ආ) එසේ නොමැති නම් කෙටි කලක් සඳහා වත්මන් පාර්ලිමේන්තුව තුළ අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම. එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු එහි කොටස්කරුවන් නොවී විපක්ෂයේ සිට ඊට සහාය දක්වනු ඇත.

එසේම ඉහත ආකාර ද්විත්වයෙන් කිනම් ආකාරයෙන් හෝ පත්වෙන තාවකාලික අන්තර් කාලීන ආණ්ඩුවක් ඉටු කළ යුතු කරුණු 5 කින් සමන්විත යෝජනා ද ජාතික ජන බලවේගය ඉදිරිපත් කර ඇත.

ෂ. ජනාධිපතිවරයාගේ බලය සීමා කරන හා වර්තමාන ජනාධිපතිගේ ධුර කාලය සීමා කරන 21වන ව්‍යවස්ථා සංශෝධනය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගත යුතුය.

ෂෂ. වර්තමානයේ ජනතාව මුහුණදී සිටින බරපතළ ආර්ථික පීඩනය අවම කිරීම සඳහා වන අත්‍යවශ්‍ය සහන ලබාදීමට පියවර ගත යුතුය.

ෂෂෂ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කරගත යුතුය.

ෂඪ. තාවකාලික ආණ්ඩුව පිහිටුවා මාස 06ක් ඇතුළත නව පාලනයක් පිහිටුවිය හැකි වන පරිදි ඒ සඳහා වන මහ මැතිවරණය හා වත්මන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනය ද සහිතව ජනමත විචාරණයත් එකවිට පැවැත්විය යුතුය සහ

ඪ. එම තාවකාලික ආණ්ඩුවේ කටයුතු එකඟ වූ පරිදි සිදු වන්නේද යන්න අධීක්ෂණය කිරීම සඳහා අධීක්ෂණ මණ්ඩලයක් පත්කළ යුතුය. එය වර්තමාන ජනතා සටන සමග සම්බන්ධව සිටින වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු සටනේ නියෝජිතයන්, ආගමික නායකයන්, විවිධ වෘත්තීයවේදී සංවිධාන හා සිවිල් සංවිධාන නියෝජිතයන්ගෙන් සමන්විත විය යුතුය යන්න එම යෝජනා වේ.

මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමට ඉඩකඩ නොමැති බැවින් තාවකාලික පාලන ව්‍යුහයක් ලෙස මෙම යෝජනා ඉදිරිපත් කළ බවත් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ 11 වැනිදා එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

අකිත පෙරේරා, සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment