අන්තර් පළාත් ලීග් පාපන්දු තරගාවලිය දකුණ, නැගෙනහිර සහ සබරගමුවට ජයග‍්‍රහණ

121

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක‍්‍රියාත්මක නිදහස් කුසලාන අන්තර් පළාත් ලීග් ශුරතා පාපන්දු තරගාවලියේ 06 වැනි වටයේ තරග දකුණු පළාත ආශ‍්‍රිතව පැවති අතර එහිදී ජයග‍්‍රහණ වාර්තා කර ගැනීමට දකුණ, නැගෙනහිර සහ සබරගමුව කණ්ඩායම් සමත් විය.

තම අපරාජිත බව ආරක්ෂා කර ගැනීමට සමත් වෙමින් ප‍්‍රසාද ලකුණු පුවරුවේ ඉහළම ස්ථානයේ නම සඳහන් කර ගැනීමට ඒ අනුව සබරගමුව පළාත නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත්වීම කැපී පෙනුණි.

පරාජයේ අමිහිර අත්විඳ නැති උතුරු පළාත ප‍්‍රසාද ලකුණු පුවරුවේ දෙවෙනි ස්ථානය තහවුරු කර ගැනීමට හැකි වූයේ රජරට/වයඹ ඒකාබද්ධ කණ්ඩායම සමග තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙසිනි.

සබරගමුව ගෝල් 02

මධ්‍යම ගෝල් 00

ගාල්ල දිස්ත‍්‍රික් ක‍්‍රීඩා සංකීර්ණයේ දී පැවති සබරගමුව සහ මධ්‍යම අතර තරගයෙන් ගෝල් 02 – 00 ක පහසු ජයග‍්‍රහණයක් අත් කර ගැනීමට සබරගමුව කණ්ඩායමට හැකි විය.

තම සිවු වැනි ජයග‍්‍රහණය සනාථ කර ගැනීම සඳහා සිදු කළ ආක‍්‍රමණයේ දී කැපී පෙනුණු එම්. එෆ්. එම්. රාසන් 17 වැනි මිනිත්තුවේ දී පළමු ගෝලය ද නායකත්වයේ වගකීම කරට ගත් එම්.එන්.එම්. ෂෆාන් 45 වැනි මිනිත්තුවේ දී දෙවන ගෝලය ද සබරගමුව වෙනුවෙන් රැුස් කිරීමට සමත් වූහ.

සබරගමුව ක‍්‍රීඩකයන් වෙතින් එල්ල කළ අභියෝගයට මැනවින් මුහුණ දුන් මධ්‍යම පළාත් ක‍්‍රීඩකයෝ දෙවන භාගය තුළ ඉහළ දක්ෂතා ප‍්‍රදර්ශනය කළ ද එය ජයග‍්‍රහණයකින් හෝ ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීම දක්වා පවත්වා ගැනීමට නොහැකි වීම ද දක්නට ලැබුණි.

එහි ප‍්‍රතිඵලයක් ලෙස ගෝල් 02 – 00 ක ජයග‍්‍රහණයක් සබරගමුව පිල සතු විය.

මෙම තරගය එෆ්.එම් ඉර්ෂාන් මහතා විසින් විනිශ්චය කරන ලදී.

උතුර ගෝල් 02

රජරට/වයඹ ගෝල් 02

ප‍්‍රථම භාගය තුළ නිලකුණු තත්ත්වයක් සටහන් වූ උතුර සහ රජරට/වයඹ අතර තරගයේ දෙවන භාගයේදී ගෝල් 04 ක් වාර්තා වීම කැපී පෙනුණි.

තරංග පුෂ්පකුමාර මහතාගේ නලා හඬට අනුව මාතර කොටුවිල ජාතික ක‍්‍රීඩා සංකීර්ණ භූමියේ දී පැවැත්වුණු මෙම තරගයේදී දෙපිලම රැුස් කළ ගෝල් සංඛ්‍යාව 02 – 02 ක් ලෙස සමාන වීම නිසා එය ජය පරාජයෙන් තොරව අවසන් විය.

මෙවර තරගාවලියට සහභාගි වන ආක‍්‍රමණික ක‍්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම නම සඳහන් කර ගෙන ඇති එම්. නිදර්ශන් උතුරු පළාතේ ගෞරවය ආරක්ෂා කර ගන්නට සමත් වෙමින් ගෝල් ද්විත්වයටම හිමිකම් කීය.

නැගෙනහිර ගෝල් 03

බස්නාහිර ගෝල් 00

ඩිලාන් පෙරේරා මහතා විසින් විනිශ්චය කරන ලද නැගෙනහිර සහ බස්නාහිර අතර ඊයේ (15) ගාල්ලේදී පැවති තරගයෙන් ගෝල් 03 – 00 ක පහසු ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට නැගෙනහිර ට හැකි විය.

තරගයේ සටහන් වූ ගෝල් ත‍්‍රිත්වයම දෙවන භාගයේ දී වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනුණි. රිෆ්කාන් මොහොමඞ් 01, එම්.එම්.එම්.මුස්තාක් 01 සහ එම්.එම්.එම්.මන්සීෆ් 01 බැගින් ගෝල් රැුස් කළහ.

දකුණ ගෝල් 03 ඌව ගෝල් 00

ප‍්‍රථම භාගය නිමා වන විට ගෝල් 01 – 01 ක් ලෙස සම තත්ත්වයක් ඉසිලූවද දෙවන භාගය තුළදී ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක නිරත වෙමින් ගෝල් 03 – 01 ක් ලෙස ජයග‍්‍රහණය සටහන් කර ගැනීමට දකුණු ලක ක‍්‍රීඩකයෝ සමත් වූහ.

නිවෝන් රුබේෂ් මහතා විසින් විනිශ්චය ලද මෙම තරගය මාතර කොටුවිල දී ඊයේ (15) සවස පැවැත්විණි

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment