අන්තරේ කැඳවුම්කරු ඇතුළු 4 දෙනා 17 දා තෙක් යළි රිමාන්ඩ්

673

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව ඉදිරිපිටදී පැවති විරෝධතා ව්‍යාපාරයේදී ජන රාශිගතව පොදු දේපළවලට හානි සිදුකිරීම, රටේ වත්මන් සෞඛ්‍ය ආරක්‍ෂාව වෙනුවෙන් පනවා ඇති අණපනත් උල්ලංඝනය කිරීම හා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට බරපතළ තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ අධිකරණ නියෝග මත රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් හතරදෙනා වැලිකඩ බන්ධනාගාරය මගින් ඊයේ (11 දා) යළි කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් ලබන 17 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මහෙස්ත‍්‍රාත් සන්‍ධ්‍යා තල්දූව මහත්මිය නියෝග කළාය.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පෙරටුගාමි සමාජවාදී පක්‍ෂයේ සංවිධායක ලේකම් කොස්වත්තගේ චමිල නිරෝෂන් හා නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරයේ සාමාජිකාවක වන කෝකිලා හංසමාලි යන හතරදෙනා ඇතුළු තවත් සැකකරුවන් පිරිසකට එරෙහිව තලංගම පොලිසිය ගොනුකර තිබූ මෙම පැමිණිල්ල විභාගයට ගැණිනි.

මේ අතර ඉහත කී විරෝධතාව සඳහා බලපත‍්‍ර රහිත ශබ්ද විකාශන යන්ත‍්‍රයක් සවිකළ වාහනයක් සපයන ලද බව කියන සුනිල් ශාන්ත හා දම්මික බටේපොල යන පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්‍ෂ 10 බැගින් වන ශරීර ඇප කොන්දේසි යටතේ මුදාහරින ලෙසට ද අධිකරණය නියෝග කළේය.

මේ හැර විරෝධතාව සඳහා සෙනඟ ප‍්‍රවාහනය කළ බව කියන බස් රථ රියැදුරන් තිදෙනෙකු පෙර නඩු දිනයේ ඇප පිට මුදාහැර තිබිණ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා පෙරටුගාමි සමාජවාදී පක්‍ෂය ඒකාබද්ධව පසුගිය 03 දා සංවිධානය කළ මෙම පෙළපාලිය බොරැුල්ල ආයුර්වේද වටරවුමෙන් පටන්ගෙන විත් පාර්ලිමේන්තු ප‍්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිට මාර්ග බාධක පෙරලා දමා ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම නිසා මහරගම පොලිසියේ ස්ථානාධිපති වරයාගේ ඇඟිලි තුනකට බරපතළ තුවාල සිදුව ඇතැයි පොලිසිය අධිකරණයට වාර්තා කර තිබිණි.

සියලූ කරුණු සැලකිල්ලට ගත් වැඩබලන මහෙස්ත‍්‍රාත්වරිය වැඩිදුර විභාගය ලබන 17 වැනිදාට කල් තැබුවාය.

නීතිඥ ඞී. ජී. පී. කරුණාරත්න, නීතිඥ කමල් විජේසිරි, නීතිඥ නුවන් ජයවර්ධන, නුවන් චමිල දේවප‍්‍රිය හා නුවන් කොළඹගේ යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

තලංගම පොලිස්යේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නලින් දිල්රුක් මහතා පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කළේය.

පියදාස රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment