අන්තරේ පාගමනට කඳුළු ගෑස් – ජල ප්‍රහාර

405

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ (05 දා) පාර්ලිමේන්තු පිවිසුමේ මාර්ග බාධක පෙරළා දමමින් පාර්ලිමේන්තු සංකීර්ණය දෙසට ගමන් කිරීමට ගත් උත්සාහය පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර යොදා පාලනය කළ අයුරු.

‘ආණ්ඩුව පන්නමු! ක්‍රමය පෙරළමු! දැන් ඇති පලයව්’ මැයින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ දැවැන්ත විරෝධතා පාගමන පොල්දූව මංසන්ධිය අසල පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ යකඩ වැටවල් ගලවා පොලිස් මාර්ග බාධක පෙරළා ඉදිරියට ගමන් කිරීමට උත්සාහ දැරීමේදී පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරන්නට වීමත් සමග ඊයේ (5 දා) රාත්‍රි උණුසුම් තත්ත්වයක් හටගැනිණි.

මෙහිදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විරෝධතාවයේ යෙදුණු සිසුන්ට පන්න පන්නා පහර දුන් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ‘දිවයින’ට පැවැසීය.

අන්තරේ පාගමනට කඳුළු ගෑස් - ජල ප්‍රහාර

කඳුළු ගෑස් උණ්ඩ සරසවි සිසුන් දෙසට එල්ල කළ බවත් එහිදී සිසුන් කීප දෙනකු තුවාල ලැබූ බවත් හෙතෙම කීය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙම විරෝධතා පාගමන ඊයේ පස්වරු 2.00 ට පමණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් ගමන් ආරම්භ කළේ සරසවි සිසුන් 1000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙනි. එලෙස ආරම්භ වූ පාගමන විජේරාම හන්දිය, දෙල්කඳ, හයිලෙවල් පාර ඔස්සේ නුගේගොඩට පැමිණ පසුව ස්ටැන්ලි තිලකරත්න මාවත ඔස්සේ නාවල පාරට පැමිණ ඒ ඔස්සේ රාජගිරියට පැමිණියහ. රාජගිරිය ගුවන් පාලම මත සිතුවම් ඇඳීමට කටයුතු කළ අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බල මණ්ඩල සිසුහු එතැන් සිට පොල්දූව මංසන්ධිය කරා ගමන් කරන්නට වූහ. මෙලෙස පැමිණෙන අතරවාරයේ පැය ගණනක් නුගේගොඩ සහ රාජගිරියේ දැඩි රථ වාහන තදබදයක් හටගත් අතර මේ නිසා රථ වාහන රියැදුරෝ මෙන්ම මහජනතාව ද දැඩි අපහසුතාවට පත්වූහ.

එසේම ජනතාව හා පොලිසිය අතර ද දැඩි උණුසුම්කාරී වචන හුවමාරු වන අයුරු ද දැකගත හැකි විය.

මාර්ග බාධක අසල රඳවා සිටි පොලිස් නිලධාරීන්ට මගී ජනතාව මෙන්ම වාහන රියැදුරන් බැණ වැදුණේ ගමනාන්තය පෙනි පෙනී යළිත් වටරවුම් ගසා යෑමට සිදුවීම නිසාය.

‘පොලිසියේ රාළහාමිලා ඔය යුනිෆෝම් එක අඳින්නේ අපේ බදු සල්ලිවලින්. පාරවල් වහගෙන අපිව හරව හරවා යවනවා. අපට තෙල් ගහගන්න විදිහක් නෑ. පෝලිම්වල ඉඳලා ගහගත්ත තෙල් ටික ඉවර වෙනකන් වාහන එහෙට මෙහෙට කරකවන්න වෙලා. ලැජ්ජයි හලෝ ලැජ්ජයි. ඔය යුනිෆෝම් එක පොඩි ළමයකුට දෙන්න’ ඇතැම් මොටර් රථ හිමියන් පොලිසියට බැණ වැදුණේ ඒ අයුරිනි.

කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ද අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බල මණ්ඩලය පොල්දූව මංසන්ධියේ රැඳී සිටිමින් ආණ්ඩුවට සිය විරෝධය පාමින් රැස්වීමක් පවත්වමින් තිබිණි.

පොලිසිය, කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ ආරක්‍ෂාව තර කරමින් තිබිණි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment