අන්තරේ විරෝධතාවෙන් කොටුව යුද පිටියක් වෙයි

307

පොලිසියෙන් කඳුළු ගෑස්: අධි පීඩන ජල ප්‍රහාර

ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට වහා ගෙදර යන ලෙසට බලකරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන ලද විරෝධතා පාගමන නතර කිරීමට කොටුව ලෝටස් පාර ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන පිවිසුම අසලදී ඊයේ (19 දා) සවස පොලිසිය කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාර එල්ල කරන්නට වීමත් සමග කොළඹ කොටුව ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හට ගැනිණි. මෙම උණුසුම් සිද්ධියේදී අන්තරේ සිසුන් 10 දෙනකු තුවාල ලබා තිබේ.

මෙම උණුසුම් තත්ත්වය හමුවේ මහජනතාවටද කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වීමෙන් දැඩි අපහසුතාවයට පත්වූහ. මෙම තත්ත්වය සමග කොටුව එකම යුද පිටියක ස්වරූපයක් ගත්තේය.

අන්තරේ විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරය දෙසට ඇතුළු වන්නට පොලිස් මාර්ග බාධක ගලවා ඉදිරියට යෑමට උත්සාහ දැරීමත් සමග පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර හා අධි පීඩන ජල ප්‍රහාර එල්ල කරන්නට විය.

මෙම අවස්ථාවේ දෙදහසකට අධික විරෝධතාකරුවන් ජල ප්‍රහාර මධ්‍යයේ නොසැලී සිය විරෝධය දක්වනු දැකගත හැකි විය.

‘ගෝඨා-රනිල් කුමන්ත්‍රණ ආණ්ඩුව පන්නමු’ යන මැයින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ මෙම විරෝධතා පාගමන ඊයේ පස්වරු 2.00 ට කොළඹ නෙළුම් පොකුණ ආසන්නයේ පිහිටි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය අසලින් ගමන් ආරම්භ කළේය. එලෙස ආරම්භ කළ විරෝධතා පා ගමන කොළඹ පුරහල, මරදාන හරහා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය පිවිසුම අසලින් ගාලුමුවදොර පැවැත්වෙන නිර්පාක්‍ෂික අරගල භූමියට ඇතුළු වීමේ අරමුණින් ගමන් කර තිබේ.

මෙම විරෝධතා පාගමන කොළඹ කොටුව කරා පැමිණෙන අතරවාරයේ කොළඹ නගරයේ දැඩි රථ වාහන තදබදයක්ද හටගෙන තිබිණි. අන්තරේ පාගමන කොළඹ කොටුවට පැමිණෙන අවස්ථාවේ එයට සහාය දැක්වීමට කොළඹ රැකියා ස්ථානවල සේවය කරන විශාල පිරිසක් සිය සේවා කටයුතුවලින් ඉවත්ව පැමිණ සිටියහ.

පොලිසිය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව අධිකරණයෙන් විරෝධතාකරුවන්ට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබූ මොහොතක ඔවුහු විරෝධතා පාගමනින් පැමිණෙමින් සිටියහ. කොළඹ කොටුව ලෝටස් පාර, ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන පිවිසුම අසලට පැමිණෙන විට පොලිසිය පොලිස් මාර්ග බාධක යොදා පොලිස් නිලධාරීන් 300 කට අධික පිරිසක් යොදවා තිබිණි.

ඒ අවස්ථාවේ මාර්ග බාධක අසලට පැමිණි අන්තරේ සිසුන් මාර්ග බාධක පෙරළා ඉදිරියට ගමන් කිරීමට උත්සාහ දැරීමත් සමග පොලිසිය කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාර එල්ල කරන්නට වූහ. මෙහිදී අන්තරේ සිසුන් මෙන්ම පොලිසිය ද කඳුළු ගෑස් වැදීමෙන් අපහසුතාවට පත්ව ජල බෝතල්වලින් තම මුහුණු සෝදාගන්නා අයුරු දැකගත හැකි විය. ජල පීඩන ප්‍රහාරයන් එල්ලවන අවස්ථාවේ අන්තරේ සිසුහු පොලිස් ජල පීඩන රථයට නැඟ විරෝධය දක්වන්නට වූහ. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මෙසේ පැවැසීය.

ගෝඨාභය රාජපක්‍ෂ, රනිල් වික්‍රමසිංහ වහාම ගෙදර යා යුතුයි. ජනතාවට තුන් වේලම කන්න බැරි තත්ත්වයක් උදාවෙලා. පෙට්‍රල් නැහැ, ගෑස් නැහැ, විදුලිය කපනවා. රටේ ප්‍රශ්න තව තවත් උග්‍ර වෙනවා. රටේ ජනතාව කියන්නේ ගෝඨාභය, රනිල් දෙන්නටම ගෙදර යන්න කියලයි. අපි කියන්නෙත් ඒකමයි. මේ දෙන්නා ගෙදර යනකම් අපේ අරගලය කරනවා. අද පොලිසිය අපේ සහෝදරවරුන්ට
ගැහුවා. 10 දෙනෙකුට තුවාලයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment