අන්තවාදය මට්ටුකරන මෙහෙයුම් දැඩි කරන්න… ගලගොඩඅත්තේ හිමියන්ගෙන් ජනපතිට ලිපියක්

266

අන්තවාදී මතවාදයන් ක‍්‍රියාත්මක කරන්නන් හඳුනාගෙන ඔවුන් නීතියේ රැහැනට කොටුකර ගැනීමේ මෙහෙයුම් කඩිනම්කර අන්තවාදය ව්‍යාප්ත කිරීමේ අවස්ථා අවහිර කර දීර්ඝකාලීන ආරක්‍ෂිත රටක් නිර්මාණය කිරීමට ගතයුතු ක‍්‍රියාමාර්ග ගන්නැයි බොදුබල සේනාවේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලිපියක් යවමින් ඊයේ ඉල්ලීමක් කර සිටියහ.

පාස්කු ප‍්‍රහාරය වැනි සිද්ධිද රට අස්ථාවර තත්ත්වයට පත්කිරීමට දැන් යොදාගන්නා බවක් පෙනෙන්නට ඇතැයි ද දක්වමින් යවාඇති ලිපියෙහි මෙසේද දැක්වේ.

එම ලිපිය මෙසේය.

පසුගිය වසර 5ක යහපාලන රජය සමයේදී බුද්ධි අංශ ඇතුළු ආරක්‍ෂක අංශ අකර්මණ්‍ය කිරීම හේතුවෙන් සහරාන් ප‍්‍රමුඛ ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම්වලට පාස්කු ප‍්‍රහාරය එල්ල කිරීම සඳහා අවශ්‍ය වාතාවරණය රටේ නිර්මාණය වූ බව අපි දනිමු. එබැවින් යළිත් එවන් ප‍්‍රහාරයක් රටේ සිද්ධ නොවීම සඳහා බුද්ධි අංශ ඇතුළු ආරක්‍ෂක අංශ ඉතා සවිමත්ව තබාගැනීමේ අවශ්‍යතාවය බොදුබල සේනා සංවිධානය ලෙස අපි අවධාරණය කර සිටිමු. බුද්ධි අංශ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් මා හට සිරබත් වැළඳීමට පවා අතීතයේදී සිදුවුවද තවදුරටත් කොන්දේසි විරහිතව ඒ වෙනුවෙන් මම පෙනී සිටිමි.

පසුගිය කාලයේ කොරෝනා වසංගතය පවතින අවස්ථාව තුළ ද ගෝලීය දේශපාලන ක‍්‍රියාවලියක් අපගේ මාතෘ භූමියට අත පෙවීමට ගන්නා උත්සාහයක් නිරීක්‍ෂණය විය. රට ස්ථාවර රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යෑම අස්ථාවර කිරීම සඳහා විවිධ ස්වරූපයේ ක‍්‍රියාකාරකම් එකම අරමුණකින් ක‍්‍රියාත්මක වන ආකාරයක් සියුම්ව බැලීමේදී නිරීක්‍ෂණය විය.

චීනය සහ ශ‍්‍රී ලංකා රජය ඉතා මිත‍්‍රශීලී ප‍්‍රතිපත්තියක සිට ක‍්‍රියාත්මක වීම හේතුවෙන් ගෝලීය වශයෙන් චීනයේ සතුරන් ශී‍්‍ර ලංකාව සතුරු රාජ්‍යයක් ලෙස සලකා ක‍්‍රියාත්මක වීම පිළිබඳව බරපතළ අවිශ්වාසයක් ගොඩනැගෙමින් පවතී. එමනිසා ශ‍්‍රී ලංකාවේ සිදුකෙරෙන විදේශීය බුද්ධි අංශ ක‍්‍රියාකාරකම් පිළිබඳව මීට වඩා සැලකිලිමත් වීමේ වැදගත්කම ඔබතුමාගේ අවධානයට යොමු කරන්නට කැමැත්තෙමි.

කොටි ත‍්‍රස්තවාදීන් සමඟ පැවැති යුද්ධයේදී රටපුරා ප‍්‍රහාර රැුසක් එල්ල විය. එම ප‍්‍රහාර පිළිබඳව පරීක්‍ෂණ සිදුකරනවා වගේම කොටි ත‍්‍රස්තවාදය මෙරටින් අතුගා දැමීම ඉලක්ක කරගෙන සිදුකළ ක‍්‍රියාන්විත හේතුවෙන් අපේ රට කොටි ත‍්‍රස්තවාදයෙන් මුදා ගැනීමට හැකිවිය. ඒ ආකාරයෙන් ම ඉස්ලාම් අන්තවාදය තුළින් ත‍්‍රස්තවාදීන් බිහිවීම වැළැක්වීම සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාවය මතුව ඇත. ඒ සඳහා අනුගමනය කළයුතු ක‍්‍රියාදාමයන් සියුම්ව කඩිනමින් සිදුකළ යුතුය.

ඉස්ලාම් ආගමේ නාමයෙන් අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර සිදුකළ පාස්කු ප‍්‍රහාරය මේ වන විට දේශපාලන පාපන්දුවක් බවට පත්ව ඇත. ඒ තුළට මේ වන විට ගෝලීය දේශපාලනය රිංගා ඇති ආකාරයක් දක්නට ලැබේ. ප‍්‍රහාරය එල්ල කිරීමට මූලික වූ ‘මිනීමරු ඉගැන්වීම්, මිනීමැරුම් න්‍යායයන්’ පිළිබඳව කිසිදු වග විභාගයක් සිදුවන ආකාරයක් පෙනෙන්නට නැත.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment