අන්ත්‍රාවයි!  – කොස්ගම පොලිසිය Backfire වීමට ඉඩ තිබේ

1883

අවිස්සාවේල්ලට සහ කොස්ගමට ආසන්නයෙන් පිහිටි පුවක්පිටිය ගමේ සිදුවූ ඛේදවාචකයක් පිළිබඳව අද අපි මේ තීරුව ඔස්සේ සාකච්ඡා කරමු. කතන්දරේ හැටියට කොස්ගම පැත්තේ සිටින උසස් පොලිස් නිලධාරියකුට (සමහරවිට ඒ.එස්.පී. කෙනකු හෝ එච්.කි්‍යු.අයි. වීමට පුළුවන) අරක්කු බීම සඳහා විටින් විට මුදල් අවශ්‍යය. ඒ සඳහා යෙදවූ පොලිස් නිලධාරීන් විසින් පළාතේ ව්‍යාපාරිකයන්ගෙන් අරක්කු ආධාර එකතු කරනු ලැබේ. මේ ආකාරයෙන් පුවක්පිටියේ සිටින ධනවත් ව්‍යාපාරිකයකුගෙන් පොලිසිය අරක්කු අරමුදල සඳහා රුපියල් 25000 ක් ඉල්ලා ඇත. ව්‍යාපාරිකයා විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. ඉහත සඳහන් ව්‍යාපාරිකයා දේපළ හිමි ධනවතකු නිසා ඔහුට බලපත්‍ර සහිත තුවක්කුවක් ඇත. මේ ළඟදී කොස්ගම පොලිසියේ රාළහාමිලා දෙදෙනෙක් පුවක්පිටියේ ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ තුවක්කු බලපත්‍රය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව කියා ඇත. ව්‍යාපාරිකයාගේ බිරිඳ එතැන් සිට කියන කතාව මෙසේය. “අපි තුවක්කු ලයිසන් එක පෙන්නුවා. ඉන් පස්සේ තුවක්කුව සහ පතොරොම් පරීක්ෂා කර බැලීමට අවශ්‍ය බවත් කිව්වා. ඊට පසුව එක පොලිස් නිලධාරියෙක් තුවක්කුවට පතරොමක් දමා ගෙදර ඇතිකරන සුරතල් බල්ලාට වෙඩි තබා මැරුවා. ඊළඟට ඔහු කිව්වා උඹේ මහත්තයාටත් වෙඩි තියලා මරන්නේ මේ විදියටයි කියලා…..” අනතුරුව අපි කොස්ගම පොලිසියේ ඕ.අයි.සී. මහත්තයාගෙන් මේ ගැන විමසීමු. ඔහු කියන පරිදි මෙවැනි කිසිම දෙයක් සිදුවී නැත. පොලිස් ලොක්කාට කසිප්පු හෝ අරක්කු බීමට සල්ලි එකතු කිරීමක් ද සිදුවෙලා නැත. තුවක්කුවට දැමූ පතරොම ඉවත් කිරීමට ගත් උත්සහයේදී හෙවත් Unload කිරීමට ගත් උත්සහයේදී දඩාවතේ යන බල්ලකුට වෙඩි වැදී ඇත. වෙඩි තැබීමෙන් මියයන්නේ ගෙදර බල්ලා නොව දඩාවතේ යන බල්ලකු බව අවධාරණය කරන ඕ.අයි.සී. දඩාවතේ යන බල්ලකු මියයෑම ගැටලුවක් නොවන බව හඟවයි. අපට හැඟෙන පරිදි මේ ඕ.අයි.සී. දින ගණනාවක්ම පුටුවේ නිදා සිට අවදි වී ඇත්තේ පුවක්පිටියේ වෙඩි හඬත් සමගය. දඩාවතේ යන බල්ලකුට වෙඩි තැබීම ප්‍රශ්නයක් නොවන්නේ නම් ඕ.අයි.සී. පාරේ යනවිට වෙනත් ඕ.අයි.සී. කෙනකු සිටින පවුලක සාමාජිකයන්ට ඔහුට වෙඩි තැබීමට හැක. එහිදී න්‍යාය වන්නේ මේ ඕ.අයි.සී ගෙදර ඕ.අයි.සී නොව දඩාවතේ යන ඕ.අයි.සී. කෙනකු යන්නය. සුනඛයා ඝාතනය පිළිබඳ නීති රීති ද මේ ඕ.අයි.සී. දන්නා බවක් නොපෙනේ. රටේ නීතියට අනුව සත්ව හිංසනය තහනම්ය. එහෙනම් හරක් මරන්නේ ඇයි දැයි ඕ.අයි.සී. ඇසීමට ඉඩ තිබේ. මස් කර්මාන්තය ශ්‍රී ලංකාව තුළ නිත්‍යානුකූලය. එසේම පොලිසියෙන් ගේකට ගොස් දඩාවතේ යන හරකෙකුට වෙඩි තබා ‘උඹේ මිනිහට වෙඩි තියන්නෙත් මෙහෙම’ යැයි කියන නීතියක් නැත. කෙසේ වෙතත් අප මේ ඕ.අයි.සී. මහත්තයා සමග කළ දුරකථන සංවාදයේදී හෙළි වුණේ ඔහු අහිංසක මිනිසෙකු බවය. ඔහු උත්සහ කරන්නේ තම කාර්ය මණ්ඩලයේ සිටින බූරුවන් බේරා ගැනීමටය. එය ප්‍රධානියකුගේ හොඳ ලක්ෂණයක් වීමට ද මේ දූෂිත සමාජය තුළ ඉඩ තිබේ. කෙසේ වුවද අපට එක තාක්ෂණික ප්‍රශ්නයක් ඇත. එනම් තුවක්කුවක පතරොමක් Unload කරද්දී එය Misfire වන්නේ කෙසේද යන්නය. මේ අනුව තුවක්කුවට පතරොමක් Load කරද්දී මුළුමහත් පොලිසියම පුපුරා යෑමට ඉඩ තිබේ. කෙසේ වුවද කොස්ගම පොලිසිය ළඟින් යනවිට පරෙස්සම් වන ලෙස ප්‍රදේශවාසී ජනතාවගෙන් ඉල්ලමු. එයට හේතුව පොලිසියේ තුවක්කු Misfire වී සිවිල් වැසියන් මියයෑමට ඉඩ කඩ තිබීමය. මේ සිද්ධිය පිළිබඳ CC TV Footage හෙවත් දර්ශන මාලා රූපවාහිනි ජාල සතුව ඇත. අපි පොලිස්පතිගෙන් ඉල්ලන්නේ මේ ගැන පරීක්ෂණයක් කර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ලවා update එකක් ජනතාවට දෙන ලෙසය.

පසුගිය අවුරුද්දක පමණ කාලයක සිට පොලිසිය මහජන අප්‍රසාදයට බඳුන් වෙමින් පවතී. විශේෂයෙන්ම මැයි 09 දා අරලියගහ මන්දිරයෙන් එළියට ආ මැර කණ්ඩායමක් සමග එකතු වුණු පොලිසිය ගෝල්ෆේස් පිට්ටනියට කඩා වැදී එහි සිටි විරෝධතාකරුවන්ගේ ඔළු පලු කිරීමත් සමගම ඒ අප්‍රසාදය කිහිප ගුණයකින් වැඩිවිය. මේ හැසිරීමට පළිගැනීමක් වශයෙන් නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ගේ ඔළුවට ටොකු වැස්සක් වසින හැටි අපි රූපවාහිනියෙන් දුටුවෙමු. මේ සම්බන්ධයෙන් කිහිප දෙනකු අත්අඩංගුවට පත්වූ අතර ඒ සැකකරුවන්ටද ටොකුවලින්ම රිටන් එක ලැබෙන්නටත් ඇති. යහපාලන යුගයේදී පොලිසිය යම් ප්‍රමාණයකට ප්‍රතිසංස්කරණය විය. ගෝඨාභයගේ ආණ්ඩුවේ මුල් යුගයේදී ද පොලිස්කාරයා විනීත මිනිහකු වූ නමුත් ටික කලකට පසු පරණ භීෂණකාරී පොලිස්කාරයා යළි එළියට පැන්නේය. පොලිසිය දෘඪ විය යුතු බව අපිද විශ්වාස කරමු. සෑම අපරාධකාරයෙක්ම හුරතල් කර බුරියානි කන්න දී Happy Ending massage එකක් දීමෙන් ලැබෙන ප්‍රතිපලයක් නැත. උදාහරණයක් වශයෙන් ස්ත්‍රී දූෂකයා බොහෝ විට උසාවියෙන් නිදහස ලබන නිසා පොලිසිය අවශ්‍ය ප්‍රතිකාරය ඔහු අත්අඩංගුවට ගත් වහාම සිදුකරයි. මේවාට අප විරුද්ධ නැත. එහෙත් ඒ.එස්.පී. ලාට සහ එස්.එස්.පී. ලාට අරක්කු බීම සඳහා අරමුදල් තර කරන පොලිස් නිලධාරීන්ට අප විරුද්ධය. පොලිස්පති චන්දන වික්‍රමරත්න මේ කාරණය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බව අපට විශ්වාසය. ඔහු මේ ගැන කිසියම් පියවරක් ගන්නේ නම් එය කරන්නේ ද අප බොරුකාරයන් කිරීම පිණිසය.

advertistmentadvertistment
advertistmentadvertistment