අන්තිමට ඉතුරු වන්නේ අලි දෙදෙනකු පමණි

671

ඉන්දියාවේ වැඩියෙන්ම විකිණෙන දිනපතා පුවත්පත වූ හින්දුස්ථාන් ටයිම්ස් පවුත්පතේ වෙබ් අඩවිය 2020 දෙසැම්බර් 13 වැනිදා වාර්තා කළ පරිදි අලි මිනිස් ගැටුම් වලින් වැඩියෙන්ම මිනිසුන් මියයන රට ඉන්දියාවය. එසේම අලි මිනිස් ගැටුම් වලින් වැඩියෙන්ම අලි මියයන රට ශ්‍රී ලංකාවය. ඉන්දියාව බෞද්ධ සංස්කෘතිය පවතින රටක් නොවේ. එය තිරිසන් සතුන්ට මහත් සේ සලකන හින්දු රාජ්‍යයකි. එහෙත් යහගුණ, කරුණාව, අහිංසාව පෙරදැරි කරගත් අවුරුදු 2500 ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාව වැඩියෙන්ම අලින් ඝාතනය කරන රට බවට පත්වීම මහත් අවාසනාවකි. ශ්‍රී ලංකාවේ වනගහනවල වල් අලි හත්දහසක් පමණ ජීවත් වෙති. අපේ රටේ වාර්ෂිකව අලින් 480 ක් පමණ ඝාතනය කරනු ලැබේ. ගොවිබිම්වලට කඩා වදින අලි, හක්කපටස් කන අලි, දළ කපා ගැනීම සඳහා මරාදමන අලි යනාදී වශයෙන් මේ රටේ මියයන හස්තීන් වර්ගීකරණය කළ හැකිය.

දළ කපාගැනීම සඳහා අලින්ට වෙඩි තබා බිම දමන පවුකාර කාලකන්නි මිනිස්සු ඇතා මියයන්නටත් පෙර දළ කපා ගනිති. අවුරුදු 25 ක් පමණ වයසැති අඩි 7 ක් පමණ උස අලියකුගේ මළසිරුර මුලතිව් ප්‍රදේශයේ අයියම්පෙරුමාල් කැලෑ ප්‍රදේශයේදී හමුවිය. මියගිය සතාගේ දළ කපා ගෙනගොස් තිබුණි. අඩි 7 ක් උස අලියකු යනු හොඳ උසක් සහිත වැඩුණු සතෙකි. කොටි සංවිධානයේ වර්ගවාදී යුද්ධය පැවැති කාලයේදී එයට ගොදුරු වූ වනාන්තර වල සිටි අලි ඇතුන්ගෙන් තුනෙන් දෙකක් පමණ මරාදමන ලදී. කොටි ත්‍රස්තවාදීහු අලි මරා උන්ගේ දළ වැල්වැටිතුරෙයි හරහා ඉන්දියාවට යවා ඒ වෙනුවට අවිආයුධ ගෙන්වා ගත්හ. සාමාන්‍යයෙන් හොඳට වැඩුණු අඩි 6 ක් පමණ දැගැති ඇත් දළයක් බරින් කිලෝ 100 ට වැඩිය. මෙබන්දක් දෙදෙනකු විසින් ඔසවාගෙන යන්නේද ඉතා අමාරුවෙනි. මේ ප්‍රමාණයේ ඇත් දළයක් දී හොඳ වර්ගයේ කාලතුවක්කුවක් ලබාගත හැකිය.

හැබැයි වැඩේ අහුවුණොත් ඇත් දළය වික්ක එකාත් කාලතුවක්කු වික්ක එකාත් යන දෙදෙනාටම රිමාන්ඩ් එකේ තපින්නට සිදුවේ. එහෙත් අලි මැරීම මිනී මැරුමක් සේ නොසලකන බැවින් අලි මරුවාට මරණ දණ්ඩනය දෙනු නොලැබේ. ඒකා සෑහෙන්න දඩයකට යටත් කොට තුන් හතර අවුරුද්දකට ඇඟ බැඳ ගෙදර එවනු ලැබේ. නීතිය විසින් ජීවිතයක් හැටියට සලකනු ලබන්නේ මිනිස් ජීවිතය පමණි. තිරිසනාගේ ජීවිතය ජීවිතයක් ලෙස සැලකෙන්නේ නැත. මේ තත්ත්වයට හේතුවන්නේ වාණිජ වාදය සහ මස් මාංශ කෑමට ඇති පෙරේතකමය. සතුන් මරන උන්ට මරණ දඬුවම දෙන්නට ගියොත් අලුගෝසුවා ඇතුළු තවත් කිහිපදෙනකුට වඩා ලෝකයේ ඉතිරි වන්නේ නැත. දිනකට කුකුළන් බිලියන දෙකහමාරකට වඩා ලොව පුරා ඝාතනය කරනු ලැබේ. මාළුන්, ඌරන්, හරකුන්, එළුවන් යනාදී වශයෙන් මස් පිණිස ඝාතනය කරන සතුන් ගණන එකතු කරන්නට ගියොත් ඒ සඳහා පරිගණක යන්ත්‍ර සුවිශාල ප්‍රමාණයක් අවශ්‍ය වනවා ඇත.

අලි සහ මිනිසුන් අතර ගැටුම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි රටවල බලපවත්නා ප්‍රමුඛ ප්‍රශ්නයකි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ අලියාට අයත් භූමියේ මනුෂ්‍යයන් විසින් ගම්මාන ඉදිකිරීමය. මෙහිදී අලියා ගම්වැදීමක් සිදුනොවන අතර, ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්තේ මනුෂ්‍යයා විසින් අලියාගේ ගම්මානය ආක්‍රමණය කිරීමය. ඔබේ ගෙදරට වෙනත් පිරිසක් පැමිණ බලෙන් ලැගුම් ගත්තොත් ඔබ කරන්නේ පොලිසියට දන්වා, පොලිසිය පැමිණීමට පෙර ලවක්දෙවක් නැතිව ආගන්තුකයන්ට ගුටි දී ගෙදරින් පන්නා හැරීමය. එහෙත් එවැනි හැකියාවක් අලියාට නැත. මනුෂ්‍යා විසින් අලියාගේ නිජබිම ආක්‍රමණය කිරීම වැළැක්වීමට අලියා ගන්නා උත්සාහයේදී තුවක්කුව මගින් මිනිසාට ජයග්‍රහණය අත්කරදෙනු ලැබේ.

එක්දහස් අටසිය අසූ ගණන් වලදී ඇමරිකාවේ රතු ඉන්දියානු පාරම්පරික නිජ බිම් ආක්‍රමණය කළ සුද්දන්ට එරෙහිවීමට හයියක් රතු ඉන්දියානුවන්ට නැතිවිය. එයට හේතුව වූයේ සුදු ආක්‍රමනිකයන් සතුව තිබුණු තුවක්කුවය. රතු ඉන්දියානුවා සිය දුනු හීතල මානන විට සුද්දා බෝර 12 හේ තුවක්කුවෙන් එක වෙඩිල්ලක් තබා රතු ඉන්දියානුවන් තුන් දෙනෙක් ඝාතනය කළේය. එක වෙඩිල්ලෙන් තුනක් මැරෙන්නේ කොහොමද? රතු ඉන්දියානුවා යනු අධික ශබ්දවලට මහත් සේ බිය වූ ප්‍රජාවකි. සුද්දා එක වෙඩිල්ලක් තබන විට ඒ වෙඩිල්ල වැදී එක් රතු ඉන්දියානුවකු මැරෙන අතර වෙඩි ශබ්දය නිසා කම්පනයට පත්ව තවත් දෙදෙනකු පමණ මියයති. මෙය විශ්වාස කිරීමට අපහසු කාරණයක් වුවද සත්‍යයකි. ඒ බව ක්‍රිස්ටෝපර් කොලොම්බස්ගේ රටවල් කොල්ල කෑමේ දේශාඨන විස්තර වලින්ද හෙළිව තිබේ. කෙසේ හෝ වේවා මේ මරණ ආකාරයට අලි මැරිල්ල මේ රටේ දිගටම සිදුවුණොත් මතු යම් දිනකදී අපට ඉතිරි වන්නේ කොළඹ ගංගාරාමයේ තිබෙන පුළුන් පුරවා සංරක්‍ෂණය කළ ඇත් රුවත්, දළදා මාලිගාවේ කරඬුව වැඩම වූ හස්ති රාජයාගේ සංරක්‍ෂිත සිරුරත් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment