අන්තිම කැමැත්ත

988

මාර දිව්‍ය පුත‍්‍රයා හෝ කර්ම ශක්තිය විසින් අපට සලකනු ලබන ආකාරය අන්තිම ලෝ ලෙවල් එකකට බැස තිබේ. තිබෙන කරදරවල නිමක් නැත. කෑම ප‍්‍රශ්න, රැුකියා ප‍්‍රශ්න, සල්ලි නැති ප‍්‍රශ්න යනාදී ප‍්‍රශ්න තොගයකින් මනුස්ස ජීවිතේ අල වී තිබේ. බෝට්ටුවෙන් රට පනින්නට ගියොත් ආපසු අල්ලා එවනු ලැබේ. එළියට ගියොත් බීගත් මිනිසකු විසින් එලවනු ලබන වාහනයක් අප යට කරගෙන යෑමට බොහෝ දුරට ඉඩ ඇත. අර කොහේදෝ කීවාක් මෙන් අපේ වත්තෙන් නිධානයක් හමුවුණොත් එය ආණ්ඩුවේ ය. අපේ වත්තෙන් ගංජා පැළයක් හමුවුණොත් එය අපේ ය. කරදර මඟ ඇරීම සඳහා ගෙදර සිටීම ඊටත් වඩා භයානකය. කිසියම් අවස්ථාවක ගෑස් ලිප පිපුරුවොත් වැඬේ ඉවරට ඉවර ය.

 ගෑස් පිපිරීම් දිගට ම සිදුවේ. මීට දෙතුන් දිනකට පෙර කුරුවිට ගෙදරක උඩ තට්ටුවේ මුළුතැන්ගෙයි ගෑස් ලිපක් පිපිරූවිට බියපත් වූ ගෘහණියක් ජනේලයෙන් බිමට පැනීම නිසා බරපතළ තුවාල ලැබුවා ය. පාස්කු බෝම්බය පුපුරා යෑමෙන් පසු පොහොට්ටු පක්ෂය නිතරම කීවේ අප ත‍්‍රස්ත බෝම්බවලින් ගලවා ගන්නා බවයි. එහෙත් ගෙදර තිබෙන ගෑස් බෝම්බයෙන් අප බේරා ගැනීමට ආණ්ඩුවට හැකිවී නැත. එක අතකට මෙහිදී ආණ්ඩුව වැරදි නැත. ආණ්ඩුව පොහොට්ටු පක්ෂය ලෙස පමණක් තිබූ කාලයේදී අපට කිව්වේ පිටත තිබෙන බෝම්බවලින් අප බේරා ගන්නා බව මිස ගේ තුළ තිබෙන බෝම්බවලින් අප බේරා ගන්නා බව නොවේ. මැතිවරණ ප‍්‍රඥප්තිවල කොතැනකවත් ගෑස් පිපරීම්වලින් අප බේරන බවක් කිව්වේ නැත.

 ගෑස් පිපිරීම් සමූහය දේශපාලන ආයුධයක් බවට පරිවර්තනය වෙමින් තිබෙන මේ මොහොතේදී ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය පහත පියවර ගත්තේය. එනම් රතු පාට පොලිතීන් දවටනයකින් ගෑස් වෑල්වය සීල් කෙරුණු සහ සුදු පාට පොලිතීන් දවටනයකින් ගෑස් වෑල්වය සීල් කෙරුණු ගෑස් සිලින්ඩර් ඉතාම සුරක්ෂිත බව ගෑස් කොම්පැනිකාරයෝ කීහ. එය රජය මගින් නිර්දේශ කළ ආරක්‍ෂිත පියවරකි. නිෂ්පාදන ක‍්‍රියාවලියේදී මේ ගෑස් සිලින්ඩර් සෑම සීයකින් එකක්ම පාරිභෝගික අධිකාරිය මගින් තත්ත්ව පරීක්ෂාවකට ලක් කරනු ලැබේ. එසේ පරීක්ෂා කරන සියවැනි ගෑස් සිලින්ඩරය බෝම්බයක් නම් ඊට පෙර ඇති සිලින්ඩර් සීය සහ ඊට පසුව නිපදවන සිලින්ඩර් සීය වෙළෙඳපොළට යැවීම අත්හිටවනු ලැබේ. එහෙත් මේ වනවිට රතු පාට සහ සුදු පාට දවටන සහිත ආරක්ෂිත සිලින්ඩර්වලින් එන ගෑස් ද ලිපේදී පුපුරන්නට පටන්ගෙන ඇත. සිලින්ඩරය නොව, ගෑස් ලිප පිපිරීම ඉතාම පුදුම වැඩකි. මිලි මීටර් හතරක හෝ තුනක පමණ ඝනකම ඇති වානේ තහඩුවකින් සෑදු ගෑස් සිලින්ඩරයක් පිපිරුවොත් එයින් ටොන් ගණනාවක ස්පෝටන බලයක් නිකුත් වේ. මෙය ගෙයක් නොව, තට්ටු කිහිපයකින් සමන්විත මධ්‍යම ප‍්‍රමාණයේ ගොඩනැඟිිල්ලක් පවා බිමට සමතලා කරන පිපිරුමකි. කෙසේ හෝ වේවා මේ වනවිට මේ රටේ තිබෙන ප‍්‍රධාන ගෑස් කොම්පැනි දෙක කෙරෙහිත් ගෑස් සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කරන බව පෙන්වන පාරිභෝගික අධිකාරිය කෙරෙහිත් ජනයා කලකිරී ඇත. මීට අවුරුදු හැත්තෑවකට හෝ අසූවකට පෙර මේ රටේ අම්මලා දුර බැහැර වන්දනා ගමන්වල යන්නේ අන්තිම කැමැති පත‍්‍රය ලියා තැබීමෙන් පසුවය. ගමනට ගතවන කාලය බොහෝ බැවිනුත් කැලෑ මැදින් වැටී ඇති පාරවල් දිගේ යද්දී විවිධ අන්තරායයන් සිදුවිය හැකි බැවිනුත් ආපසු පැමිණීම ගැන ගැරන්ටියක් දිය නොහැකි නිසාත් මෙසේ අන්තිම කැමැති පත‍්‍ර ලියා තබන ලදී. ගෑස් ලිප් පාවිච්චි කරන ගෙවල්වල මවුවරුන්ට සිදුවී තිබෙන්නේ ද අන්තිම කැමැත්ත ලියා තබා මුළුතැන් ගෙට යෑමට ය. වැඬේ එපමණට ම බරපතළ ය. කුණ්ඩසාලේ විසූ කාන්තාවක් ගෑස් පිපිරීමකින් හටගත් පිළිස්සුම් තුවාලවලින් පසුගියදා මිය ගියා ය. මේ සිද්ධියට විරුද්ධව දැඩි නීතිමය පියවර ගන්නා බව ඇගේ සැමියා කියා තිබේ. උසාවි ගියා කියා ඔහුට සිය බිරිය ආපසු නොලැබේ. එහෙත් ඔහුගේ උසාවි යෑම නිසා අඩු ගණනේ අනිත් මිනිස්සුන්ට හෝ තමන්ගේ බිරින්දෑවරු ඉතිරි වෙති. මේ සැමියාට මහජන සහයෝගයක්් ලබා දීමත් නීති ආධාර ලබාදීමත් රටේ යුතුකමකි. පාස්කු බෝම්බය ගැන කල්තියා දැන සිටියදී එය නොසලකා හල බවට චෝදනා ලද හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දුත් අද සිටින්නේ නීතිය ඉදිරිපිට ය. ඔහු නිතිපතා උසාවි ගානේ බඩගාති. පාස්කු බෝම්යට තිබෙන නීතිය ගෑස් බෝම්බය සම්බන්ධයෙන් ද ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක විය යුතුය. තමන් විසින් ජනතාව අතට මුදාහරිනු ලබන එල්. පී. ගෑස්වල කිසියම් අවුලක් තිබෙන බව ගෑස් කොම්පැනිකාරයෝ මුල සිට ම දැන සිටි බව අපේ වැටහීමයි. ඔවුන් ජනතාවගේ ජීවිතාරක්ෂාව නොසලකා හැරීම බරපතළ අර්බුදයකි. මේ අයට විරුද්ධව කිසිම පුරවැසියෙක් හරි ආකාර නඩුවක් ෆයිල් කළේ ද යන්න අපට අද වනතුරුත් ආරංචි වී නැත. එවැනි ආරංචියක් හෙට ලැබෙනවා නම් එය ඉතා යහපත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment