අන්තිම නැව

1107

මීට මාස හතකට පෙර විදේශ ණය ගෙවා ගැනීමට බැරිව black list වී ඉන්ධන ලබා ගැනීමටත්, ගෑස් ලබා ගැනීමටත් අතේ සතේ නැතිව පෝලිම්වල ලැග සිටි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ණයක් ඉල්ලීමට යන බව ආරංචි වූ කල්හි මේ රටේ වැඩිදෙනා සිනාසෙන්නට පටන් ගත්හ. ඒ වනවිටත් අපේ ණයකාරයෙක් ඇමරිකාවේ උසාවියක අපට එරෙහිව නඩුවක් ද පවරා තිබිණ. ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විනිමය බිල් හෝ බැඳුම්කර හරහා ණයක් දී තිබූ කෙනෙකි. ණයගැතියකුට එරෙහිව ණය හිමියකු විසින් නඩු දමා ඇති බව ආරංචි වූ කල්හි කිසිවෙක් එම ණයගැතියාට ණය නිකුත් කරන්නේ නැත. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබා ගැනීම ශ්‍රී ලංකාවට සිහිනයක් පමණක්ම විය. ලංකාව ඒ වනවිට තිබුණේ ඉතාම නරක තැනකය. තිබූ ආණ්ඩුව පෙරළී බලයට පත්ව තිබූ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව බිමට ඇද වැටීම විපක්ෂයේ එකම දේශපාලන අරමුණ විය. ධනවාදයේ දේශපාලන ස්වරූපය වන ප්‍රජාතන්ත්‍රවාදය තුළ බල සාධකය තීරණය කරනු ලබන්නේ ඉතා අශිෂ්ට නිර්නායකයන් යටතේය. නින්ද ගොස් සිටින මිනිහකු මැරීම, දෘශ්‍යාබාධිත මිනිහකුගෙන් සල්ලි හොරකම් කිරීම, දෙපා පණ නැති පුද්ගලයකු කොල්ලකෑම වැනි අශිෂ්ට සහ නරුම දේශපාලන ව්‍යායාමයන් ක්‍රියාත්මක කිරීම මෙවැනි අවස්ථාවලදී සිදුවෙයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගැනීම ආණ්ඩුවේ ප්‍රාර්ථනය වෙද්දී එම ප්‍රාර්ථනයට කෙළැවී හැඳි ගෑවී යෑම ආණ්ඩුවට විරුද්ධ වාමාංශික සහ දක්ෂිණාංශික කණ්ඩායම්වල අපේක්ෂාව විය. මේ සියලු අපේක්ෂා සුනු විසුනු කරමින් මීට සති කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට ණය නිකුත් කරන බව කියමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය අවසන් තීරණය ප්‍රකාශයට පත් කළේය. ලෝකයේ හැම රටක්ම තවත් රටකට ණය ය. ලෝකයේ ශක්තිමත්ම සහ විශාලතම ආර්ථිකයක් හිමි ජපානය වෙනත් රටවලට සහ ජාත්‍යන්තර මූල්‍ය සංවිධානවලට ඩොලර් ටි්‍රලියන ගණනින් ණය ය. එසේම ලෝකයේ විශාලතම විදේශ ණයගැතියා වන්නේද ජපානය ය. ණය ගැනීම වරදක් නොවේ. වරද වන්නේ ගන්නා ණය වියදම් කරන ආකාරයයි. යහපාලන ආණ්ඩුවට පෙර පැවති පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව රටේ සංවර්ධන කටයුතු සඳහා විශාල වශයෙන් විදේශ ණය ලබා ගත්තේය. ඔවුන් ඒ ණය ආයෝජනය කළේ මුදල් ගසාකෑමට ඉතාම පහසුවෙන් යොදාගත හැකි ඉදිකිරීම් ව්‍යාපෘතිවල ය. ඇත්තම සහ අවංකම කතාව නම් ශ්‍රී ලංකාවට තවමත් හයිවේ අවශ්‍ය නැති බවය. ඒ වෙනුවට තිබෙන මාර්ග ටික පුළුල් කර කාර්පට් කළේ නම් අඩු පිරිවැයක් යටතේ රටේ ගමනාගමනය වැඩි ක්ෂමතාවයක් සහිතව පවත්වාගෙන යෑමට හැකියාව තිබිණ. ශ්‍රී ලංකාව ගසාකෑම සම්බන්ධයෙන් ලොකු ප්‍රසිද්ධියක් තිබෙන රටකි. මේ කුප්‍රකට අගෞරවය අපිට ලැබෙන්නේ 1977 දී මේ රටේ පටන්ගත් සංවර්ධන යෝජනා සමග ය. එකී සංවර්ධන යෝජනා සඳහා පිටරටින් ලැබුණු ණය හා ආධාර මුදල්වලින් 25% ක් පමණ නිලධාරීහුද දේශපාලනඥයෝ ද එක්ව ගසා කෑහ. 1977 දී බලයට පත්වූ සුප්‍රකට යූ.එන්.පී. දේශපාලනඥයෙක් පසුකාලයේදී මෙසේ කීවේය. “සංවර්ධන කටුත්තක් සඳහා රුපියලක් අවශ්‍ය වන සෑම විටකම ඒ වෙනුවෙන් රුපියල් දෙකක් නිකුත් කිරීමට මට සිදුවිය. එයට හේතුව රුපියලක් නිකුත් කළ විට නිලධාරීන් හෝ දේශපාලනඥයින් විසින් එම රුපියල සොරා ගැනීම නිසා අවශ්‍ය වැඩේ කරගැනීමට බැරි වීමය. රුපියල් දෙකක් නිකුත් කළ විට ඉන් එක රුපියලක් සොරාකන අතර ඉතුරු රුපියලෙන් වැඩේ කරගැනීමට හැකි විය.” මේ තත්ත්වය දිගින් දිගටම වර්ධනය විය. මෙය අදටත් මෙසේමය. මේ අතර කව්රුත් නොසිතූ පරිදි ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක් ණය වශයෙන් නිකුත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ විය. එහි පළමුවන වාරිකය වශයෙන් ඩොලර් මිලියන 333 ක් මේ වන විට අපට ලැබී ඇත. ඒ සමගම IMF එකෙන් ණයක් ලබා ගැනීම මහලොකු දෙයක් නොවන බවට වාමාංශික සහෝදරයකු කළ ප්‍රකාශය ද මෙහිදී සිහිපත් කරමු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ණය දෙන්නේ සිව් අවුරුදු වැඩපිළිවෙළක් යටතේය. මෙහි මූලික ගිවිසුම ඩොලර් බිලියන 2.9 ක් ලෙස ප්‍රකාශ වුවද ඩොලර් බිලියන 7 දක්වා දික්කර ගත හැකිය. ඒ සල්ලි ලැබෙන්නේ අපේ ආර්ථික හැසිරීමට අනුවය.

ලංකාව ජාත්‍යන්තර තලයේදී කොතරම් නෝන්ඩි වී ඇත්ද යත් මෙවර ණය මුදල දෙන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෙසු සියලු කොන්දේසිවලට අමතරව තවත් කොන්දේසියක්ද පනවා ඇත. එනම් ණය වශයෙන් දෙන මුදලින් තඹ සල්ලියක්වත් ගසා කෑවොත් ඉතිරි මුදල් නොදෙන බවය. මේ ණය මුදල නිකුත් කිරීමට පෙර රටේ බදු වැඩි කිරීම, බැංකු පොලී අනුපාත ඉහළ දැමීම යනාදිය කළ යුතු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර තිබිණ. එය ප්‍රදර්ශන වොලිබෝල් තරගයක් වැනි වැඩකි. ආණ්ඩුව එම යෝජනා ඒ ආකාරයෙන්ම ඉටු කළේය. ණය මුදලේ පළමු වාරිකය නිකුත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකෙනෙහිම තීරණය කළේය. ණය නිකුත් කිරීමත් සමගම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා දැඩි අවවාදයක් ශ්‍රී ලංකාවට කළේය. එනම් ආණ්ඩුව තවදුරටත් බදු ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය කළ යුතු බවය. එසේම දුගී ජනතාවගේ යහසාධනය සඳහා ක්ෂණික වැඩපිළිවෙළක් යෙදිය යුතු බවය.

ශ්‍රී ලංකාව පිටරටවලට ඩොලර් බිලියන 50 ට වඩා ණය ය. ජපානය මෙවැනි දහදාස් ගුණයක් පමණ පිටරටවලට ණය ය. එම ණය ගෙවීමට තිරසාර වැඩපිළිවෙළක් ජපානයට තිබේ. එසේම ඔවුහු එම ණය දිගටම ගෙවාගෙන ද යති. ඒ අතර වෙනත් රටවල්වලට තම රටෙන්ද ණය දෙති. ලෝක ආර්ථිකය භ්‍රමණය වන්නේ මෙසේය. මුලින්ම වැඩි තැනින් අඩු තැනට ධනය යයි. එතැන ධනය වැඩිවන විට එතැනින් තවත් අඩු තැනකට එම ධනය යයි. ලංකාවේ ඇති ලොකුම අවුල නම් කොපමණ ධනය ලැබුණත් ඒවා වියදම් කර කා බී ෆන් ගැනීම මිස එම මුදල් ප්‍රයෝජනවත් පරිදි ආයෝජනය නොවීමය. සමහරවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගනුදෙනුව පිටරටින් අපට ලැබෙන අන්තිම ණය මුදල කරගැනීමට අපට පුළුවන. එය තීන්දු වන්නේ අපේ ආර්ථික හැසිරීම අනුව බව නැවතත් කියමු. IMF ණය මුදල අප වෙත ආ අන්තිම නැව විය හැකිය. මේ නැව පෙරළුණොත් ගිලී මැරෙනවා හැර වෙන විකල්පයක් නැත.

advertistmentadvertistment
advertistmentadvertistment