අන්ද මන්ද කරවන ඡන්ද කතන්දරේ!

256

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් දක්වන ලද ප්‍රතිචාර පිළිබඳව මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානවල මෙන්ම ඇතැම් දේශපාලන පක්‍ෂවල ද විවේචන හා චෝදනා ද එල්ල වී තිබේ. එම මැතිවරණය සම්බන්ධ ක්‍රියාන්විතය ජනතාවගේ ද සැකයට තුඩු දී තිබෙන්නකි. මැතිවරණ කොමිසම තුළ බෙදීමක් තිබෙන බවට පළවූ වාර්තාවල සත්‍යයක් නැති බවක් සිය කාර්යභාරය නීත්‍යානුකූලව සිදු කර ඇති බවත් කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා ඉරිදා දිවයින සංග්‍රහයට ද ප්‍රකාශ කර තිබුණි. එහෙත් මෙහිදී කොමිසම කිසියම් පීඩනයකට පත්ව සිටියේ ද යන සැකය වර්ධනය වූයේ ඔවුන්ගේ තෙපරබෑම් හා ඇතැම් ප්‍රකාශ නිසා බව ද නිසැක ය. එසේ ම මෙම මැතිවරණය පැවැත්වීම පිළිබඳව ආණ්ඩුව තුළ තිබෙන දෙගිඩියාව ද සැඟවිය නො හැක. ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින ඇමැති රාජ්‍ය ඇමැති ආදීන්ට අමතරව පොහොට්ටුවේ ම තවත් කොටසක් මෙම පළාත්පාලන මැතිවරණය රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන බරක් බව පවසති. එසේම තවත් පිරිසක් පොහොට්ටුව වෙනුවෙන් ඒ මැතිවරණයට ඉදිරිපත් වීමට ඇප මුදල් පවා තැන්පත් කර සිටිති. රාජපක්‍ෂලා කිසිවිටක ඡන්දවලට බිය නැතැයි කෙරෙන වහසි බස් ද අපට ඇසෙයි.

ජනතාවට මෙන්ම අපට ද මේ ප්‍රතිවිරෝධය කියවා ගත නො හැක. ජනාධිපති රනිල් පෙන්වා දෙන්නේ මැතිවරණ කොමිසම බෙදී සිටින බව ය. එම ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් කොමිසමේ පොදු මතය කුමක්ද යන්න දැන ගැනීමේ අපේක්‍ෂාවක් ද ජනාධිපතිවරයාට තිබෙන බව වාර්තා කර තිබුණි. මෙහිදී අපට පෙනී යන ආකාරයට මැතිවරණ කොමිසම බෙදී ඇතැයි අනුමාන කරන ජනාධිපතිට තම ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම තුළ තිබෙන බෙදීම ගැන අමතක කර හෝ අමතක වී තිබේද යන ප්‍රශ්නය ද නැඟීම සාධාරණය කුමක් වුවත් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුවට තිබෙන භීතිය ජනතාවට ද පැහැදිලි ය. මෙම ඡන්දයෙන් ආණ්ඩුවේ ශක්තිය වන පොහොට්ටුවට අත්විය හැකි ප්‍රතිඵලය සුබවාදී නොවන බව දේශපාලනය දන්නා කිසිවකුට අමුතුවෙන් තෝරා දියයුතු නැත.

අන්ද මන්ද කරවන ඡන්ද කතන්දරේ!

ජනාධිපතිවරයා දින කීපයකට පෙර ප්‍රකාශ කළේත් තමා භාර ගත්තේ ආර්ථික වසයෙන් බංකොලොත් රටක් බව ය. එයින් රටත් ජනතාවත් මුදාගැනීම තම වගකීම බවද ඔහු අවධාරණය කර ඇත. එසේම ඉදිරි මාස කීපය අසීරුම කාලයක් හෙයින් ඉවසීමෙන් කටයුතු කර ආණ්ඩුවට සහාය වන ලෙස ඉල්ලීමක් ද ජනාධිපතිවරයා විසින් කර තිබිණි. මේ කතාව සියයට දාහක් නිවැරදි බව අපි කියමු. මේ ආර්ථික විනාශය රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් චෝදනා විවේචන කෙතරම් දැඩි වුවත් ඒ විනාසයෙන් රට බේරා ගැනීමට වුවමනා සහාය දායකත්වය ජනාධිපතිවරයාට සිය දේශපාලන කණ්ඩායමෙන් ලැබී නැති බව අපගේ ද අදහස ය. ජනාධිපතිවරයාට වුවද හෘදය සංවාදයක යෙදී බලන්නේ නම් එහි සත්‍යයක් තිබෙන බව හැඟී යනු ඇත. ගෝඨාභයගේ අනුප්‍රාප්තිකයා ලෙස පත්වූ තමන්ගේ වගකීම රට හිරවී සිටින මේ ආර්ථික විනාශයෙන් ගලවා ගැනීම බව ජනාධිපති පසුගිය දිනයකදීත් සිහිපත් කර තිබුණි. එහෙත් මෙතෙක් ආණ්ඩුව එබඳු මාවතකට යොමුවී තිබේ යැයි කිව හැකි ද?

රනිල් ජනාධිපති වූයේ රටත් ආර්ථිකයත් ගොඩ ගැනීමට මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට බවට ඔහු විසින් කරන ලද අවධාරණය ගැන අද විවිධ විවේචන තිබේ. ඒ බොහෝ දේශපාලන විවේචන මෙන්ම චෝදනා සාවද්‍ය යැයි අපට කිව නො හැක. අද වනවිට රාජ්‍ය පාලනයේ නියමුවා ජනාධිපති රනිල් වුවත් ඔහු වටකර ගෙන සිටින බහුතරය එදා ජනතා විරෝධතාවට ලක්වූ අයම නොවෙත් ද? සර්ව පාක්ෂික ආණ්ඩු සංකල්පය අසාර්ථක වුවත් අද තිබෙන පාලන ව්‍යුහය යහපත් හෝ සාධනීය එකක් ලෙස හැඳින්විය නො හැක. ඇමැති හා රාජ්‍ය ඇමැති සංඛ්‍යාව පිළිබඳ තිබෙන විවේචන සුළුපටු නැත. ආර්ථික සමාජ දේශපාලන ගැටලු විසඳීමට තරම් පැණසර ඇමැතිවරුන් කී දෙනෙක් තමන් සමග සිටිත් ද යන්නට පිළිතුරු දිය යුත්තේ ද ජනාධිපතිවරයා ම පමණි. රටේ ප්‍රශ්න කෙබඳු වුවත් තවමත් ඇමැති දොළඳුක් නොසංසිඳුණු කණ්ඩායමකුත් පොහොට්ටුවේ සිටින බව ද අපි දනිමු.

මෙය අලුත් විවේචනයක් නොවුවත් යම් හෙයකින් ජනාධිපතිවරයා විසින් පාලන තන්ත්‍රයට වුවමනා පරිදි අවම කණ්ඩායමක් තෝරා ගන්නා ලද්දේ නම් ජනතාවට තහවුරු වන්නේ බංකොලොත් රට නැංවීමට අවශ්‍යම යාන්ත්‍රණය එය බව ය. එයින් රටට ඉතිරිවන මූල්‍ය සම්පත් ද බොහෝ වේ. එහෙත් ගෝඨාභයට ගෙදර යෑමට දායකවූ බහුතරයක් සමග රට ආර්ථික වසයෙන් ගොඩගැනීමට ජනාධිපති රනිල්ට සිදුවී තිබේ. ජනතාව පෙළෙන බදු බර, ඉහළ යන භාණ්ඩ මිල, ඖෂධ හිඟය වැනි දහසක් ගැටලු දුෂ්කරතා ගැන ආණ්ඩුවේ බහුතරයක් සංවේදී නැති බවද බොහෝ දෙනෙකුගේ චෝදනාවකි. එනිසා ආර්ථිකය කඩා වැටී තිබේ යැයි දෙසාබාමින් ජනතාවගේ සහාය පමණක් අපේක්‍ෂා කිරීම සාධාරණ නැත.

ඇත්ත වසයෙන් ම ඉතා කුඩා ඇමැති මණ්ඩලයක් තෝරා පත්කර ගෙන රටේ සම්පත් ආරක්‍ෂා වන ආකාරයේ තීන්දු තීරණ ගත්තේ නම් ජනතාව ජනාධිපති රනිල් ගැන තැබූ විශ්වාසය තවත් වැඩෙන්නට තිබුණි. ඔහු රටටත් ආර්ථිකයටත් සංවේදී නායකයකු යැයි යන හැඟීම ද ජන මනස තුළ තැන්පත් වීමට තිබුණි. එහෙත් අදත් අප දෑස් අබියස තිබෙන දේශපාලන චිත්‍රය මෙන්ම රාජ්‍ය ආයතන පිළිබඳ ආකල්ප ද දශමයකින් හෝ වෙනස් වී නැත. නාස්තිය, දූෂණය, හොරකම, වංචාව සාමාන්‍ය දේවල් බවට පත්ව තිබේ. ආණ්ඩුව සියලු බර ජනතාව මත පැටවීමට තරම් සාහසික වී තිබේ. මුළු රටෙන් ම කෙබඳු විරෝධතා එල්ල වුවද විදුලිබිල ඉහළ දැමීමට ඔවුන් දරන ප්‍රයත්නය ඉතා පැහැදිලි ය. බදුබර උද්ධමනය ඍජුව ම ජනතාවට එල්ල වන මාරක ප්‍රහාර වැනි ය. එහෙත් ඇතැම් ආයතනවල නිලධාරීහු අලුත් බඳු මඟ හරිතියි චෝචනා නැඟී තිබේ.

ඇත්තට ම ජනාධිපති රනිල් ගෙන යන්නේ ගෝඨාභය ගෙදර යැවූ අය වටකර ගත් පැරැණි හා ජනතාවට එපා වූ පාලන මොඩලයම ය. වෙනසක් ඉල්ලූ ජනතාවට පරණ පුරුදු නඩයම ආසනාරූඪ කළ පාලනයකින් ලැබනෙ ඵලය කුමක් ද? ඔවුන්ට වුවමනා කෙසේ හෝ ආණ්ඩුව අටවා ගෙන ජනාධිපති සමග බලයේ රැඳීම පමණි. පළාත් පාලන මැතිවරණය තම හිස මතට කඩා පාත්වන හෙණයක් සේ ඔව්හු දකිති. එයින් ගැලවිය හැකි සෙප්පඩ විජ්ජා ගැන සිතීම විනා ඔවුන්ට රටේ ප්‍රශ්න ගැන සංවේදී බවක් ඇතයි ද සිතිය නො හැක. ජනතාවගේ පපුවේ තවමත් පොහොට්ටුව රැඳී තිබෙන බවට මැත දොඩවන පොහොට්ටුව එසේ නම් මේ ඡන්දයට මුහුණදීමට බිය වියයුතු නැත. එහෙත් ආණ්ඩුව තුළ ම ඡන්දයට යෑම හා නොයෑම අතර අවුලක් තිබෙන බව ද පෙනී යයි. කොටින් ම මේ වෙලාවේ ඡන්දයකට ගොස් ඉල්ලන් කෑමට දේශාපලන අණ්ඩපාලලා සූදානම් නො වෙති. දේශපාලන සූදුව ප්‍රගුණ කළ නායකයෝ ද නිසැකයෙන් ම මෙබඳු වාතාවරණයක් තුළ බලය රැක ගැනීම විනා අන්දෙයක් නො දකිති.

ජයවර්ධන පාලන යුගයේ මෙරටේ ඇතැම් නොසණ්ඩාල වැඩ සිදු වූයේ ද ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා පරමාධිපත්‍ය ගැන සජ්ක්‍ඨායනා කරමින් ය. කුප්‍රකට ජනමත විචාරණය (1982) ගැන දන්නා අය මේ පාර්ලිමේන්තුවේ ද සිටිති. පාර්ලිමේන්තු නිල කාලය දීර්ඝ කිරීම මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම වැනි දේවල් පවා ජයවර්ධනගේ ප්‍රජාතන්ත්‍රවාදී චර්යාව තුළ අපි දිටිමු. එහෙව් රටක ජනතා පරමාධිපත්‍යය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය වුවද ව්‍යවස්ථාවක ලියා තිබෙන දේවල් පමණක් විය නො හැකි ද? අද උද්ගතව තිබෙන්නේ ඒ අශිෂ්ට මෙහෙයුම් නො ඉවසන ප්‍රබුද්ධ හා විදග්ධ සමාජ දේශපාලන හා සංස්කෘතික සමාජයකි. ජාති, ආගම් භේදවලින් ඔවුන් මෙහෙයවීමට ද නො හැකි ය. රැවටීම්, ව්‍යෘජ රඟදැක්වීම්, සැණකින් දැන හඳුනාගැනීමට සමත් තරුණ තරුණියෝ ද අද පෙරමුණෙහි සිටිති. පැරැණි ගතානුගතික හා ජරපත් සමාජ දේශපාලනය වෙනුවට අලුතින් හිතන සමාජයක අපේක්‍ෂා දැල්වෙමින් තිබේ.

නිදහසින් පසු ගෙවී ගිය වසර හැත්තෑ හතරකට වැඩි කාලයක් මුළුල්ලේ බලකාමී හා අවස්ථාවාදී දේශපාලන සූත්තරවලින් පීඩාවට පත්වූ ජනතාවක් හා කඩාවැටුණු රටක් තවදුරටත් රැවටීමට ලක් නොවන බව අද එළැඹෙන හැම නිමේෂයකින්ම තහවුරු කරන බව ඒ රජපත් ක්‍රමය නඩත්තු කිරීමට දත කන ව්‍යෘජ ප්‍රභූවරු වටහා ගතයුතු වෙති. ජාතිය, ආගම, සංස්කෘතිය ආදී හැම දෙයක් ම දේශාපලන බලය වෙනුවෙන් උකස් කළ අඳුරු යුග නිවැරදිව හඳුනාගැනීමට වුවමනා සමාජ දේශපාලන විඥානයක් සහිත ජනතාවක් අද සිටිති. ඒ අතර බඩ ගෝස්තරවාදී දේශපාලන සට්ටඹියන් ස්වල්ප දෙනෙක් ද වෙති.

කෙසේ වුවද මෙම මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් නැතැයි කියන දේශපාලන විකටයෝ ද සිටිති. එහෙත් 2023 අය වැය ලේඛනයට අත එසවූ අය අතර මෙම මැතිවරණය සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කළ බව දන්නා කීපදෙනෙක් හෝ සිටිය යුතු වෙති. එදා ඒ මුදල් වෙන් කිරීම ඉවසූ මැති ඇමැතිවරුන් අද එයට විරුද්ධ වන්නේ කෙසේ ද? යන ප්‍රශ්නය ද අපට තිබේ. රටක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන ඡන්දය කල් දැමීම අනුමත කරන සමහරු ඒ පිළිබඳ යථාර්ථය දනිත්දැයි සැකයක් ද ඇත. පළාත් පාලන මැතිවරණය වරක් ඇමැතිවරයාගේ අභිමතය පරිදි කල් දමා තිබෙන හෙයින් යළි එබඳු බලයක් ආණ්ඩුවට නැත. මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එය කල්දැමීමට බරපතළ සමාජ ආපදාවක් තිබේ නම් හැකි වනු ඇත. එහෙත් ආර්ථික අර්බුදයක් එයට ප්‍රමාණවත් නොවන බව නීති ක්‍ෂේත්‍රයේ මතය වී තිබේ. ආණ්ඩුව ලහි ලහියේ අලුත් පනත් යෝජනා ඉදිරිපත් කරන්නේ එය නිවැරදි කර ගැනීමට නොව, තමන්ගේ සට කපට අරමුණු නිසා බව අමුතුවෙන් කිව යුතු නැත. පසුගියදා (05) දොළවත්ත මන්ත්‍රීවරයා විසින් පළාත් පාලන මැතිවරණ නියෝජනය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පනත පිළිබඳ ආන්දෝලනයක් ඇති වූයේ ද ඒ නිසා ය.

මෙම පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා වෙනස් නොවන බව බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ද පවසා තිබේ. එය සැබෑවකි. එහෙත් මේ මැතිවරණයෙන් ඛේදනීය පරාජයක් අත්වුවහොත් එයින් කියවෙන දේ නම් බරපතළ බව අපගේ අදහස ය. විශේෂයෙන් මේ ඡන්දය පැවැත්වෙන්නේ ගෝඨාභය ජනාධිපතිවරයා ධුරයෙන් වීසි වී ගිය සමහරුන්ගේ ඇමැතිකම් ද ගැලවී ගිය දේශපාලන වාතාවරණයක් තුළ ය. එය එක් අතකින් ආණ්ඩුවේ ශක්තිය මෙන්ම ජනප්‍රියත්වය ද උරගා බැලීමකි. ආණ්ඩුව ගෙදර යැවීමට එයින් නො හැකි වුවත් එයින් කෙරෙන සන්නිවේදනය ප්‍රබල බව සන්නිවේදනය ද හසුරුවීමේ බලය හිමි ගුණවර්ධන ඇමැතිවරයා නොදනී යැයි අපට සිතිය නො හැක.

තතු මෙසේ හෙයින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ දේශපාලන වාතාවරණයක් තුළ මහජන මතය නිර්බාධිතව ප්‍රකාශ කිරීමට තිබෙන අවස්ථාව ආරක්‍ෂා විය යුතුය. ඒ සඳහා වැය කෙරෙන මුදල් විනාශයක් හෝ අපතේ යැවීමක් ලෙස හෝ හැඳින්විය නො හැකි ය. එසේ ම මෙම පළාත් පාලන මැතිවරණය නිසා රටේ සමාජ ආර්ථිකය තුළ අලුත් පිබිදීමක් ඇති නොවුවත් එයින් වර්තමාන සමාජ දේශපාලනය පිළිබඳ සැබෑ චිත්‍රය කුමක්ද යන්න රටට මෙන්ම ජාත්‍යන්තරටද දැක බලා ගතහැකි අවස්ථාවක් උදා වන බව ද කිව යුතුය. එසේ ම මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු තවත් කරුණක් ද ඇත. ඒ මෙම මැතිවරණ ප්‍රතිඵලය තුළ ගැබ්වන අලුත් සමාජ දේශපාලන සංස්කෘතික අභිලාෂය කුමක්ද යන්න ය. එය ගාලු මුවදොර අරගලය විසින් ඉල්ලා සිටින ලද ක්‍රමයේ වෙනසක් නැතහොත් සිස්ටම් චේන්ජ් එකක ආරම්භයක් ද නැතහොත් පැරණි දේශපාලන ක්‍රමය හා ඒ ගමන්මඟ තවදුරටත් අනුමත කිරීමක් ද යන්න පිළිබඳ පිළිතුරක් ද වනු ඇත. මෙහි දී අපට පෙනෙන තවත් දෙයක් ද ඇත. එනම් මෙම පළාත් පාලන මැතිවරණය සඳහා තරග වදින අපේක්‍ෂාකයන්ගේ ස්වභාවය මෙන්ම දැනට ඒ සඳහා කාන්තා හා තරුණ නියෝජනයට අවකාශ මඳවීම ය. කිසිදු සමාජ දේශාපලන විඥානයක් නොමැති පවතින ගර්හිත හා තක්කඩි දේශපාලන විකට රූපවල අවිචාර අනුගාමික නඩයක් යම් හෙයකින් තෝරා ගනු ලැබුවහොත් රටටත් ජනතාවටත් කුමක් සිදු වනු ඇද්ද?

කෙසේ හෝ මැතිවරණ කොමිසමට ස්වාධීනව කටයුතු කිරීමට මෙන් ම ඒ සඳහා පහසුකම් ලබාදීමේ වගකීම ද ආණ්ඩුව සතු ය. ඒ වගකීම පැහැර හැරීම හෝ එයට උඩින් පැන යෑමට හෝ ආණ්ඩුව ක්‍රියා නො කරනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු. මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත්තේ ද සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්වීම තාවකාලික භාරකාර පාලකයන්ගේ යුතුකම හා වගකීම බව ය. එය රටේ උසස් මැතිවරණ සංස්කෘතියක් නිර්මාණය කිරීමට ද ඉවහල් වනබව එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන්ව ඇත.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment