අන්ධකාර චිත්‍රයක් අභියස!

71

ලබන සතියේ අපේ රටේ අලුත් අයවැය ඉදිරිපත්වීමට නියමිතයි. අයවැය සම්බන්ධව අතීතයේ තිබූ උනන්දුව වර්තමානය වන විට ගිලිහී ගොස් තිබෙන බව අප වටහා ගත යුතුයි.

මීට දශකයකට දෙකකට පෙර පවා අයවැය කතාව අසන්නට ඈත ගම් දනව්වල සිටි ජනතාව තුළ පවා තිබූ උනන්දුව එක අතකට විමතිය දනවන සුළුයි.

නමුත් වර්තමානයේ දී, අයවැයක් යනු හුදෙක් ලියැවිල්ලක් ගණයට වැටුණු සාමාන්‍ය කතාවක් පමණයි.

හැත්තෑ එකේ සමඟි පෙරමුණ ආණ්ඩුව කරමින් සිටි වකවානුවේ අයවැය කිට්ටුව සතුට පත්තරයේ කැමිලස්ගේ අපූරු කාටූනයක් පළවුණා. එහි ‘ගජමෑන්’ අමුඩයකින් සැරසී, අවුරුදු උත්සවයක පිහිනුම් තරගයට සහභාගි වන චිත්‍ර කාටූනයක් පළවී තිබුණා. තරගයේ ඉදිරියෙන්ම පීනන්නේ ඔහු. එහෙත් හදිසියේම ගජමෑන් අනෙක් පැත්ත හැරී පිහිනන්නට පටන් ගත්තා. මෙයින් පුදුමයට පත් වූ නිවේදකයා ඒ ඇයි කියා ඇසුවා.

‘පීනලා දිනුවා වගේ නෙවෙයි. අමුඩෙ වතුරෙ ගහගෙන ගියොත් සලාකෙට ඊළඟට රෙදි දෙනකල් මට ඉන්න වෙන්නේ වතුරේ!

සමඟි පෙරමුණු පාලනය ගැන ‘කාටූන්’වල තිබ්බේ එහෙම තත්ත්වයක්.

ඇත්තෙන්ම, 1970 – 77 සමාජවාදය රටට දුන්නේ එහෙම කතාවක්. ඇවිදින ඇටසැකිලි පන්නයේ මිනිස්සු රට පුරා දැකිය හැකි වූ අතර ‘වල්මත් වූ’ තරුණයෝ අනාථව එහෙ මෙහෙ යන එක සුලබ දසුනක් වුණා. කලාතුරකින් දකින්නට ලැබුණු නයිස්, මාරි හැරුණු විට වෙනත් බිස්කට් වර්ගද, අලියා බීම හැරුණු විට වෙනත් සියලු බීම වර්ගද, ලක්ස්ප්‍රේ හැරුණු විට අනෙක් සියලු කිරිපිටි වර්ගද, මිදි, චීස්, සැමන්, ඇපල් වැනි කෑම වර්ගද තහනම් වුණා.

‘අප සමාජවාදය කරා යන්නෙමු’යි කියන මිථ්‍යාව වපුරමින් “සිරිලක දේ සිරි සැප දේ” කියමින් සිටියා.

කාගෙද ගොං වස්සා – මගෙ කුඹුරට බැස්සා

හොඳ ගාණක් උස්සා – පවරා දෙමි වස්සා කියා මිනිස්සු ‘හින්ට්’ පාස් කළේ ඒ කාලයේ ආණ්ඩුවට.

මේ අසාර්ථක ආර්ථික උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමේ ප්‍රතිඵලය වුණේ 1977 ආණ්ඩු පෙරළිය.

නිදහසින් පසු ලංකාව අනුගමනය කළ ආර්ථික ක්‍රමවේදවල බරපතළ අඩුපාඩු මෙන්ම යහපත් ගුණාංග ද තිබුණු බව අපි පිළිගත යුතුයි. නමුත් අපට තවමත් සංවර්ධිත දේශයක් කියන තත්ත්වයට ළඟා වීමට නොහැකි වී තිබෙනවා. රටකට ආර්ථිකය, අධ්‍යාපනය වැනි කාරණා පිළිබඳව ජාතික ප්‍රතිපත්තියකින් වැඩ කිරීමට නොහැකි වීම මේ අවාසනාවන්ත තත්ත්වයට හේතු වී තිබෙනවා.

රටක ආර්ථිකය සහ අධ්‍යාපනය මොන තරම් සංවේදී කාරණා ද යන්න අමුතුවෙන් තර්ක ඉදිරිපත් කළ යුතු නැහැ.

ලෝකයේ ප්‍රමුඛ පෙළේ රටවල් අද ඒ ප්‍රමුඛත්වය අත්පත් කොට ගෙන තිබෙන්නේ ඔවුන් විසින් ආර්ථිකය සහ අධ්‍යාපනය සම්බන්ධව දැක්වූ සුවිශේෂී උනන්දුව නිසයි.

පරමාණු බෝම්බවලින් සුණු විසුණු වී ගිය ජපානය නැවත නැඟීසිටීමේ රහස වන්නේ අධ්‍යාපනය සහ ඇප කැප වී වැඩ කිරීමයි. දශක ගණනාවකට බිහිසුණු කම්පාවක් ගෙන එමින් විනාශ වී තිබූ වියට්නාමය ක්‍රමානුකූලව අද හිස ඔසවන්නේ ඔවුන් අධ්‍යාපනය පිළිබඳව දැක්වූ අප්‍රමාණ උනන්දුව නිසයි.

සිංගප්පූරුව, කොරියාව, මැලේසියාව වැනි රටවල් පමණක් නොව, චීනය වැනි කොමියුනිස්ට් රාජ්‍යයන් පවා වර්තමානයේ දී පෞද්ගලික අංශය ශක්තිමත් කොට තිබෙනවා.

අවස්ථාවාදී දේශපාලනයත්, ගජමිතුරු තීන්දු තීරණ ගැනීමත් හේතු කොටගෙන අපේ රට බරපතළ අගාධයකට ඇද වැටුණු බවට ඕනෑ තරම් සාක්ෂි තිබෙනවා. අද වන විට අපේ රට ඇද වැටී තිබෙන ඛේදවාචකයට හේතුව එය බව ඒකාන්තයි.

අප ජීවත් වන්නේ ගෝලීයකරණය වූ ලෝකයක. එහෙයින් හුදකලා වාසයක් අප රටට නැහැ. අන්තර්ජාතික ශ්‍රම විභජනයට අප ද පාර්ශ්වකරුවෙක්. හැම අංශයකින්ම ස්වයංපෝෂිත වන්නට නොහැකිය යන්න යථාර්ථයක්. ඒ නිසා යම් යම් අංශයන්හි ස්වයංපෝෂිත තත්ත්වයක් ළඟා කර ගැනීම වඩා ප්‍රඥාගෝචරයි.

අන්ත සමාජවාදය හෝ අන්ත ධනවාදය විසින් මනරම් රටක් නිර්මාණය කළ නොහැකි බව අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි. ඒ නිසා, ගතානුගතිකත්වයෙන් මිදී අලුතෙන්, නිවහල්ව සැළැසුම් සහ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට සම්පාදකයන් වෙහෙසිය යුතුයි.

රටක ආර්ථිකය මොන තරම් සංවේදී ද කියන කාරණාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ පවා අද වන විට කථිකාවට ලක් වී තිබෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ආර්ථිකය ඝාතනය කිරීම සම්බන්ධව එහි චෝදනා එල්ල වී තිබෙනවා. ඉතිහාසයේ පළමු වතාවට ආර්ථිකය සම්බන්ධව කාරණාව මානව හිමිකම්වලට ඇතුළත් වීමෙන් පැහැදිලි වන්නේ ආර්ථිකය මොන තරම් තීරණාත්මක කාරණාවක් ඉටු කරනවාද යන්නයි.

අපේ රට ගොඩනැංවීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණාත්මක යෝජනා කිහිපයක් ඉදිරිපත් කරනවා. ඒ මූලික වන්නේ දේශපාලන ස්ථාවරය යි.

දේශපාලන අස්ථාවර රටක ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැඟිය නොහැකි බව කවුරුත් දන්න සත්‍යයක්. මේ යථාර්ථය තව දුරටත් සඟවා ගෙන යෑමට හැකියාවක් නැහැ. අද වන විට රට පැටලුණු නූල් බෝලයක් බවට පත්ව ඇත්තේ මේ ව්‍යාකූල අස්ථාවර බව නිසාමයි.

අව්‍යාජ ලෙස, යථාර්ථවාදී ලෙස මැද මාවත තුළ ගමන් කළ හැකි ආර්ථික ක්‍රමවේදයක් නිර්මාණය කිරීම කාලෝචිතයි. අත්‍යවශ්‍යයි.

නමුත් ඒ තත්ත්වය ළඟා කර ගැනීමට වැඩපිළිවෙළක් වර්තමානය තුළ නැති බව සහතිකයි.

අපේ රට කඩාගෙන වැටෙන තත්ත්වයෙන් ගොඩගැනීම වෙනුවෙන් ලෝකයේ විවිධ සංවිධාන විවිධ අවස්ථාවල මැදිහත්වීම් සිදුකොට තිබෙනවා. ආර්ථික වර්ධනයට සහ දූෂණයට එරෙහිව සටන් කිරීමට ප්‍රධාන වන අධිකරණය, විගණකාධිපති, නීතිපති සහ අල්ලස් කොමිසම ඇතුළු ආයතනවල ස්වාධීනත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රතිසංස්කරණ ඇතුළත් කරන්න ලංකාවට යෝජනා කළේ විවිධ සංවිධානය.

නමුත් ඒ පිළිබඳව මායිම් නොකිරීමේ ප්‍රතිඵලය අද රටක් ලෙස අවාසනාවන්ත ලෙස භුක්ති විඳිනවා. නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණුම ආර්ථික අර්බුදයට අද වන විට අපි මුහුණ දී සිටිනවා.

ආජන්ටිනාව, සිම්බාබ්වේ වැනි ආර්ථික වශයෙන් බරපතළ ඛේදවාචකයක ගිලී සිටින රටවල්වල තත්ත්වය වෙත අපේ රට ළඟා වී සිටිනවා නම් එය අතිශයින්ම කනගාටුදායක තත්ත්වයක්.

මේ මොහොතේ හෝ අලුතින් සිතන්නට බැරි නම් එයින් පසුව උදාවන්නේ අදහාගත නොහැකි තරම් අවාසනාවන්ත ඉරණමක්.

තවදුරටත් දේශපාලන බල න්‍යාය පත්‍රය තහවුරු කරගැනීම වෙනුවෙන්, මැති ඇමැති සූදුවල යෙදෙමින් අවස්ථාවාදීව කටයුතු කරනවා නම් එහි අඳුරු ප්‍රතිවිපාක අත්විඳින්නට සිදුවන්නේ මේ රටේ ජනතාවට බව මතක තබාගත යුතුයි. දවසින් දවස මේ රට අතහැර යන තරුණ පරම්පරාව දෙස බැලූ විට ඇත්ත වශයෙන්ම අප සියලු දෙනා පශ්චත්තාප විය යුතුයි. පැයකට තිස් දෙකක් මේ රට අතහැරමින් යන බවට ප්‍රවෘත්තියක් පළ වී තිබුණා.

ඒ ප්‍රවෘත්තිය ඇත්තක් නම්, අප ඉදිරියේ තිබෙන චිත්‍රය බරපතළ බව අවධාරණය කළ යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment