අන්න චිත්‍රපටය ආවා දැන් ඇත්ත දකින්න

254

තැන් තැන්වල කසුකුසු ගාපු අයට සම්පත් කියයි

නිර්මාණයකට සම්බන්ධ වෙන්නෙ පිටකොටුවෙ පේමන්ට් එකේ විකිණෙන්න නෙමෙයි

කී ටෙලි නාට්‍යයේ අනුර සහ කෝලංකුට්ටම ටෙලි නාට්‍යයේ දොලේ බොස් මේ දිනවල බොහොම ජනප්‍රියයි. මේ අතර කාලයක් කතාබහට ලක් වුණ ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයත් තිරගත වෙනව. මේ හැමතැනකම කතානායකයා වන සම්පත් ජයවීර වැඩරාජකාරි ගොඩක් මැද අලුත්ම තතු බෙදාහදා ගන්නට මීවිත සමග පිළිසඳරකට එකතු වුණ.

ෆ්ලයින් ෆිෂ් හි ඔබේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ප්‍රතිචාර බොහොම හොඳයි. මේ චිත්‍රපටය දැනට අවුරුදු කිහිපයකට කලින් අයථා විදිහට සමාජගත වුණානෙ. නමුත් ඒ එළියට ආවෙ නියම චිත්‍රපටය නෙමෙයි. සංස්කරණය, වර්ණ සංයෝජනය, ශබ්ධ සංයෝජනය නොකළ, එහෙමත් නැතිනම් අන් එඩිටින් චිත්‍රපටයට තමයි ඒ විදිහට එළියට ආවෙ. එතනදි ප්‍රශ්න රාශියක් මතු වුණා. නමුත් නියම චිත්‍රපටය එළියට ආවම බොහෝ දෙනෙක් පුදුම වුණේ එහෙම ප්‍රශ්න මතුවෙන්න තරම් දෙයක් මේ නිර්මාණය තුළ නොතිබීම ගැන.

ඔබ සහ ගයේෂා මේ නිසා අපහසුතාවට පත් වුණා?

ඔව්, ඇත්තටම කිව්වොත් අපිට බොහොම සමීප අයගෙන් පවා ලැබුණෙ අයහපත් ප්‍රතිචාර. ඒක අපි දෙන්නටම අත්විඳින්න සිදු වුණා. ඇත්තටම අපි සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්නෙ ඒක සිනමා ශාලාවෙ තිරගත වෙනව බලන්න මිසක එක එක්කෙනාගෙ ෆෝන්වල” ලැප්ටොප්වල කොටස් කොටස් තියාගන්නවත්” පිටකොටුවෙ පේමන්ට් එකේ විකිණෙන්නවත් නෙමෙයිනෙ. මූලික අරමුණ සිනමා ශාලාවක තිරගත වීම. ඒ බලාපොරොත්තුව අවුරුදු දොළහකට පස්සෙ තමයි ඉටු වුණේ.

වසර දොළහක් පුරා විඳි පීඩනය වචනවලට පෙරළුවොත්?

කාලෙන් කාලෙට මම රඟපාන ටෙලි නාට්‍ය, චිත්‍රපට, වේදිකා නාට්‍ය එනව. ඒවා යම්කිසි මට්ටමකට එනකොට අපිට මාධ්‍ය ආයතනවලින් කතාකරනව. නමුත් ඒ මොන දෙයක් කළත් ඒක ඉවර වෙන්නෙ ඉගිල්ලෙන මාලුවන්ගෙන්. පසුගිය අවුරුදු දොළහ තුළම සිදු වුණේ මේ දේමයි. දැන් චිත්‍රපටය බලලම ඕන කෙනෙකුට ඒ ගැන කතා කරන්න පුළුවන්.

අන්න චිත්‍රපටය ආවා දැන් ඇත්ත දකින්න

දැන් මොන වගේ සහයෝගයක්ද ඔවුන්ගෙන් ලැබෙන්නෙ?

දැන් සමහර වෙලාවට අපි කතාකරලම සහයෝගයක් ඉල්ලගන්නව. ඒ වගේම අපිට නිතැතින්ම සහයෝගය ලබාදෙන අයත් ඉන්නව.

අධ්‍යක්‍ෂවරයාගේ ප්‍රතිචාරය මොනවගේද?

මම හිතනව ඔහුට අවශ්‍ය රංගනය මම කළා කියල. ඒ නිසා ඒ ගැන නැවත හොයල බලන්න දෙයක් නැතිව ඇති.

ඔබ පෞද්ගලිකව මේ චරිතය ගැන පසුතැවෙනවද?

කිසිම පසුතැවීමක් නැහැ. එහෙම වෙන්න මම නොදැනුවත්ව කිසි දෙයක් කරල නැහැ වගේම කිසිම දෙයක් අහම්බෙන් සිදුවෙලා නැහැ. හැමදේම මම දැනුවත්ව සවිඥාණිකව සිදු වුණේ.

අවසානයේ වසර දොළහකට පසුව ඉගිල්ලෙන මාළුවෝ තිරගත වෙනව?

ඔව්, ඒ ගැන ඉතාම සතුටුයි. අපේ රංගනය ප්‍රේක්‍ෂකයා දැක්කෙ නැතිනම් ඒක චිත්‍රපටයක් වෙන්නෙ නැහැනෙ.

ඔබව විවේචනය කළ අය අද මොකද කියන්නෙ?

අද වෙනකොට එයාල මුකුත් කියන්නෙ නැහැ. නමුත් මම එයාලට කියනව, අන්න චිත්‍රපටය තිරගත වෙනව, දැන් බලන්න කියල.

අන්න චිත්‍රපටය ආවා දැන් ඇත්ත දකින්න

දොලේ බොස් මේ දවස්වල හරි ජනප්‍රියයි?

ඔව්, ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනව. මම හිතන්නෙ දොලේ බොස් කියන්නෙ මේ දවස්වල පුංචි තිරයේ මැවෙන ජනප්‍රියම චරිතයක්. ඒ නිසාම වෙන්න ඇති බොහෝ දෙනෙක් අහන්නෙ ඇයි ජනප්‍රියම නළුවා ලිස්ට් එකේ නැත්තෙ කියල.

ඒ ගැන දුකක් තියෙනවද?

නැහැ නැහැ. මම ජනප්‍රියයි. ඒ ප්‍රමාණය මට හොඳටම ඇති. කූපන් දාල ජනප්‍රිය වෙන්නවත් තරඟයට යන්නවත් මට උවමනාවක් නැහැ. ඒ වගේම මට ඒවාට වියදම් කරන්න සල්ලිත් නැහැ.

මගතොට ප්‍රතිචාර?

මගතොට දී සමහර අය දොලේ බොස් කියල කෑගහනව. ඇටකටු මල්ලට මොකද වුණේ කියල අහනව. ඒ වගේ සිද්ධි අල්ලගෙන එක එක ප්‍රශ්න අහනව.

කී ටෙලියේ අනුර ලෙසත් මේ දවස්වල දකින්න ලැබෙනව?

කෝලං කුට්ටම සහ කී ටෙලියේ අන්ත දෙකක චරිත මට ලැබිල තියෙනව. ඒක මම හිතනව හොඳ දෙයක් කියල. එක වගේ නොවී වෙනස්ම චරිතවල ඉන්න නිසා වෙන්න ඇති එකකට එකක් වෙනස්ම හොඳ ප්‍රතිචාර මේ චරිත දෙකටම ලැබෙනව. බොහෝ දෙනෙක් කියන්නෙ ඒ චරිතය නම් පේන්න බැහැ කියල. මම හිතනව ඒක තමයි චරිතයේ උපරිම සාර්ථකත්වය කියල.

සම්පත් කාර්යබහුල වෙලාද?

යම් තරමකට කාර්ය බහුලයි කියන්න පුළුවන්. ටෙලි නාට්‍ය දෙකට අමතරව වේදිකා නාට්‍ය තුනකටත් මගේ රංගන දායකත්වය ලබා දෙනව වගේම සමබරව ඒ කටයුතු කරගෙන යනව.

ශිවගුරුනාදන්ගෙ ආරාධනය ඔබ භාරගන්නෙ කොහොමද?

ශිවගුරුනාදන් කියන්නෙ මම වැඩිපුර වැඩකරපු අධ්‍යක්‍ෂවරයෙක්. ඔහු මගේ පරිමාව, ධාරිතාව දන්නව. ඔහු බලාපොරොත්තු වුණ ආකාරයේ සාර්ථකත්වයට චරිතය ගේන්න මට හැකිවීම ගැන ඔහුත් අද ගොඩක් සතුටු වෙනව.

‘රහස් කියන කඳු සිනමා නිර්මාණය විදේශ රටකදී සම්මානයට පාත්‍ර වෙනව?

මේ ජගත් මනුවර්ණගේ මුල්ම අධ්‍යක්‍ෂණය. මේ සිනමා නිර්මාණයට අපි බොහෝ දෙනෙක් සහභාගී වුණා. මෙතනදි අපේ පරම්පරාවේ පළමු වැනි වැඩේ කරන්න අපි උපරිම සහයෝගය ලබා දුන්නා.

ඔබට නිසි වටිනාකමක් ලැබෙනවද?

ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටු වෙන්න බැහැ. අපේ හැකියාවන්” දක්‍ෂතාවන් වලට අවකාශයක් ලැබීම ගැන සෑහීමකට පත්වෙන්න බැහැ.

ලංකාවේ සම්මාන උළෙල ගැන ඔබේ මතය?

සම්මාන උළෙල ගැන නම් ලොකු විශ්වාසයක් තියන්න බැහැ. ඒ වගේම බලාපොරොත්තුවකුත් නැහැ. මේ ඔක්කොම ප්‍රෝඩාවක් වගේ කියල තමයි හිතෙන්නෙ.

වේදිකාව ගැන ඔබේ අදහස?

ලංකාව තුළ වේදිකා නාට්‍ය කලාව පවතින්නෙ ඒ තුළම ඉන්න අයගෙ උනන්දුව නිසාම හැරෙන්න වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි. විශේෂයෙන්ම රජයට නාට්‍ය කලාවක් අවශ්‍ය නැහැ. මෙච්චර බංකොළොත් රටේ නිදහස් උත්සවයක් තියන්න සල්ලි තියෙනව” රාජ්‍ය නාට්‍ය උළෙල පවත්වන්න සල්ලි නැහැ. එහෙව් රටක තමයි අපි කලාව ගැන කතාකරන්නෙ.

මේවාට මැදිහත් වෙන්න කලාකරුවන්ගේ සංවිධාන තියෙනව නේද?

ඒ බොහොමයක් පැවැති රජයන්ට කඩේ යන්න හදාගත් සංවිධාන විතරයි. අපි දීලා තියෙන ඇතැම් පනත්කෙටුම්පත් අමාත්‍යංශවල පුස්කකා තියෙනව. ඒවා ක්‍රියාත්මක කරන්න බලධාරීන්ට උවමනාවක් නැහැ.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment