අනාගතයට ගැළපෙන ලෙසින් දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය නිර්මාණය කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ හලාවතදී කියයි

35

අනාගතයට ගැළපෙන දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේබව සඳහන් කළේ හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැඟිල්ලේ පළමු අදියර සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට ඉකුත් 14දා පස්වරුවේ එක්වෙමිනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

දුෂ්කර ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද රටේ දරුවන් වෙනුවෙන් නවීන අධ්‍යාපනයක් ලබාදීමට රජය කැපවී කටයුතු කර තිබෙනවාග අතීතයේ අධ්‍යාපන ක්‍රම පිළිබඳ දැන් කථා කර ඵලක් නැහැ. අප අනාගතය දෙස බලමින් දකුණු ආසියාවේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් මේ රට තුළ ඇති කළයුතුයි. අපේ රටේ ශක්තිය අධ්‍යාපනයයි. සෑම විටම අපේ රට තුළ හොඳ අධ්‍යාපන ක්‍රමයක් පැවතුණාග පසුගිය කාලය තුළ අධ්‍යාපනය වෙනුවෙන් අප හැකි අයුරින් ප්‍රතිපාදන ලබාදී තිබෙනවා.

අනාගතයට ගැළපෙන ලෙසින් දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය නිර්මාණය කරනවා - ජනාධිපති රනිල් වික්‍රමසිංහ හලාවතදී කියයි

මම භාරගනු ලැබුවේ බංකොළොත් රටක්. ඒ වන විට දේශපාලන පක්ෂ කැඩී ගොස් තිබුණා. ඒ නිසා අප කණ්ඩායමක් එක් වී ආණ්ඩුවක් නිර්මාණය කර රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආවා. දැන් අප අනාගතය පිළිබඳව සිතිය යුතුයි.. දැන් අපි ආර්ථික ප්‍රශ්න ක්‍රමයෙන් විසඳා ගනිමින් ඉදිරියට පැමිණෙමින් සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ සිදු කළ ප්‍රකාශය අනුව අපට සාර්ථක ලෙස ඊළඟ කාර්තුවේ මුදල් ලැබී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවට නිල වශයෙන් ණය ලබාදී තිබෙන රටවල කමිටුව ලබන සතියේ රැස් වෙනවා. එම රැස්වීමෙන් පසු අපට බංකොළොත්භාවෙයන් ඉවත්වීමට හැකියාව ලැබෙනවාග වසර දෙකක් ගතවීමට පෙර මෙම තත්ත්වය උදාකර ගැනීමට හැකිවීම පිළිබඳ මම ආඩම්බර වෙනවා.

ආණ්ඩුවක වගකීම වන්නේ රට සංවර්ධනය කිරීමයි. සටන් පාඨ කියමින් කාලය ගත කළ යුගය දැන් අවසන්. අපට නැවතත් එම යුගයකට යන්න බැහැ. මාදම්පේ ආර්ථික කලාපය නැවත ආරම්භ කිරීමට අප තීරණය කර තිබෙනවා. ඒ වගේම වෙළඳ කලාපයක් සහ ආයෝජන කලාපයක් ආරම්භ කිරීමට බිංගිරිය ප්‍රදේශයේ අක්කර දාහක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම ඉරණවිල සංචාරක කලාපයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එවිට සංචාරක ආර්ථිකය සහ කර්මාන්ත ආර්ථිකය මේ ප්‍රදේශයට ලැබෙනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ලැබුවන්ට අවස්ථාව ලබාදීම වෙනුවෙන් තොරතුරු තාක්ෂණ නගරයක් මාදම්පේ ප්‍රදේශයේ ඇති කිරීමටද බලාපොරොත්තු වෙනවා.

රට දියුණු කිරීමට නම් අප අලු‍ත් මාර්ගයක ගමන් කළයුතුයි. ඒ සඳහා අවශ්‍ය ආර්ථික පරිවර්තනය ඇති කරල රට තුළ සීග්‍ර දියුණුවක් ඇති කිරීම වෙනුවෙන් ආර්ථික පරිවර්තන නීතිය ගෙනවිත් තිබෙනවා. ඒ නිසා දේශපාලනයෙන් තොරව මෙය සම්මත කරගැනීම සඳහා සියලු‍දෙනාගේ සහාය අපේක්ෂා කරනවා. මේ කාලයේ සාම්ප්‍රදායික දේශපාලනය කරන්න බැහැ. කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවත් සියලු‍දෙනා එකතු වී රටේ සහ දරු පරපුරේ අනාගතය වෙනුවෙන් මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට වැඩ කළ යුතුයි.

අනාගතයට ගැළපෙන ලෙසින් දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය නිර්මාණය කරනවා - ජනාධිපති රනිල් වික්‍රමසිංහ හලාවතදී කියයි

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහත්වරුන්ද කතා කළ අතර පළාතේ මහා සංඝරත්නයද, වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ්, වෙන්නප්පුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක බුද්ධික සේසත්පුර, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ජේ.එම්. තිලකා ජයසුන්දර, හලාවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රසාද් රත්නායක, වයඹ පළාත් අධ්‍යාපන ලේකම් නයනා කාරියවසම්, විද්‍යාලයේ විදුහල්පතිනි දුලිකා ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන්, අධ්‍යාපන බලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, සිසුවියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හලාවත – ස්වර්ණ ශ්‍රී මහවත්තල දුම්මලසූරිය – සෝමවීර ගම්ලත්

advertistmentadvertistment
advertistmentadvertistment