අනාගතයට පාර පෙන්වන අධිවේගී මාර්ගය දැන් රට මැදට

736

මධ්‍යම අධිවේගයේ දර්ශනීයම මාර්ග කොටස වන මීරිගම – කුරුණෑගල දක්වා වූ ඇතුගල්පුර පිවිසුම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අගමැති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරුණේ පසුගිය 15 වන සෙනසුරාදාය.

රුපියල් බිලියන 149ක් වැය කරමින් ඉදිකර ඇති මේ මාර්ග කොටසේ දිග කිලෝමීටර් 40.91කි. පාරිසරික හා සමාජයීය බලපෑම් අවම කර ගනිමින් ඉදිකළ මේ අධිවේගී මාර්ග පථය නාගරික ප‍්‍රදේශ මගහරිමින් ප‍්‍රධාන වශයෙන් හිස් ඉඩම් ඔස්සේ දිවෙන මාර්ග කොටසකි. මන්තීරු හතරක් යටතේ ඉදිකෙරුණු මීරිගම සිට කුරුණෑගල දක්වා වූ මේ මාර්ග කොටස දැනට ශී‍්‍ර ලංකාවේ අලංකාරම හා සුන්දරම මාර්ග කොටස බවට හඳුනාගෙන ඇත.

දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත‍්‍රාත්කරුවන් විසින් ඉදිකෙරුණු මේ මාර්ග කොටස නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගහපිටිය ස්ථානයන්හි මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5ක් සහිතව ඉදිකර ඇත.

මීරිගම – කුරුණෑගල අලූත් අධිවේගී මාර්ග කොටසේ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම නිම කර ඇති බව මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ඉංජිනේරු අනුර කෙහෙල්ඇල්ල මහතා පවසයි. තවද මෙහි ඉදිකිරීම් කටයුතු දේශීය සමාගම් මගින් සිදුකළ බවත් දේශීය බැංකු මගින් ණය මුදල් ලබා දීමෙන් මෙහි සාර්ථකත්වය ළඟාකර ගැනීමට හැකිවීම සතුටට කාරණයක් බවත් ඒ මහතා පැවසීය. ඒ අනුව රටේ මුදල් පිටරටට ඇදී යාම මෙයින් වැළකෙන හෙයින් මෙයින් ලැබෙන ආදායම රටේ යහපත වෙනුවෙන් යොදා ගැනීමට හැකියාව තිබෙන බවද ඒ මහතා තවදුරටත් පැවසීය.

අනාගතයට පාර පෙන්වන අධිවේගී මාර්ගය දැන් රට මැදට

ඔබ මේ ප‍්‍රදේශය හරහා දුම්රියෙන් හෝ බස් රියෙන් ගොස් ඇති බව මම සිතමි. මීරිගම යනු සිත් ඇදගන්නාසුලු මනස්කාන්ත පරිසරයකින් පිරි භූමි ප‍්‍රදේශයකි. තැනෙක පරක් තෙරක් නොපෙනෙන නිල්ල පිරුණු කෙත්වතුය. තවත් තැනෙක කොස් දෙල් පොල් මල් පලතුරු ගසින් බර ගොඩබිම්ය. තවත් තැන් තැන්වල හුදෙකලා කඳු හා වන ලැහැබින් වැසී ගිය දූපත් බඳු වටකුරු ගොඩබිම්ය. මේ සිත් සනහන පරිසර පද්ධතිය ඔස්සේ වැටී ඇති නූතන අධිවේගී මාර්ගයක අසිරිය මා අමුතුවෙන් කිවයුතු නොවේ. මංතීරු 4කින් යුතුව මීරිගම සිට කුරුණෑගල දෙසට දිවෙන මේ මාර්ග කොටස වැටී ඇත්තේ මෙකී කෙත්වතු දෙබෑ කරමින් ගෙවතු හා වනලැහැබින් වැසී ගිය ගොඩබිම් එකිනෙක යා කරමිනි.

මේ නව මාර්ග කොටස ඔස්සේ කෙනකුට මීරිගම සිට කුරුණෑල දක්වා යෑමට ගතවන කාල පරාසය විනාඩි 25කටත් වඩා අඩුය. වෙනදා යන සුපුරුදු මග ඔස්සේ ගියෙහි නම් රථවාහන තදබදයෙන් පිරි අපේ මාර්ග පද්ධති මේ ගමනට අපට ලබාදෙන කාලය පැය 2කට ආසන්න බව අත්දැකීමෙන්ම දන්නා අය බොහෝය.

ඒ අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ 2 අදියරේ මීරිගම උතුර සිට නාකලගමුව (අලව්ව නාරම්මල මාර්ගය) දම්බොක්ක (කුරුණෑගල – කොළඹ මාර්ගය මාර්ග අංක 06) යන ස්ථානවල පිවිසුම් මාර්ග ස්ථාපිත කර තිබේ. දම්බොක්කට කලින් පොතුහැරදි මහනුවර බලා දිවෙන මධ්‍යම අධිවේගී මාර්ගය වෙන්වන තැන අපට හමුවනු ලබයි.

නාකලගමුව අන්තර් හුවමාරුවෙන් පසුව හමුවන දම්බොක්ක හුවමාරුවේ සිට පොතුහැරට කිලෝමීටර් 5ක පමණ දුරින් කුරුණෑගලට කිලෝමීටර් 4ක පමණ දුරක් තිබෙන හෙයින් දම්බොක්ක හුවමරුව, පොතුහැර, පොල්ගහවෙල, කෑගල්ල ජනතාවට බෙහෙවින් ප‍්‍රයෝජනවත්ය.

එමෙන්ම කුරුණෑගල මහනුවර මාර්ගයේ කුරුණෑගල දුම්රිය ස්ථානය අසලින් (ගැට්ටුවාන) කුරුණෑගල පිවිසුම ඉදිකර තිබේ. කුරුණෑගල දඹුල්ල පාරේ (මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානය අසල) යග්ගහපිටිය අන්තර් හුවමාරුව ස්ථාපිත කර ඇත.

මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් පේ‍්‍රමසිරි මහතා පවසන පරිදි මූලික සැලසුම් අනුව උතුරු අධිවේගී ව්‍යාපෘතිය ලෙස හඳුනාගෙන ඒ අනුව අත්‍යවශ්‍යම ව්‍යාපෘතියක් මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය ලෙස නම් කර කි‍්‍රයාවට නංවන බවයි. ජාතික මහා මාර්ග සැලැස්මට අනුව මෙම ව්‍යාපෘති මූලික අදියරේදී කඩවත අධිවේගී අන්තර් හුවමාරුවෙන් ආරම්භ වී මධ්‍යම පළාතේ අගනගරය වන මහනුවර හා පෞරාණික වටිනාකමකින් හා ආර්ථික වැදගත්කමක් සහිත දඹුල්ල නගරය වෙත ගමනාගමන පහසුකම් වැඩිදියුණු කිරීම ඉලක්ක කර ඉදිකිරීම් සිදුකිරීමට නියමිතය. මෙය අන්තර් හුවමාරු මධ්‍යස්ථානවලින් සමන්විත ප‍්‍රවේශ මාර්ග හරහා පාලනය වන අධිවේගී මාර්ගයකි. මෙය ව්‍යාපෘති 4ක් යටතේ කි‍්‍රයාත්මක වේ.

  1. කඩවත සිට මීරිගම දක්වා (කි.මී. 37)
  2. මීරිගම සිට කුරුණෑගල දක්වා (කි.මී. 40.91)
  3. පොතුහැර සිට ගලගෙදර දක්වා (කි.මී. 32.5)
  4. කුරුණෑගල සිට දඹුල්ල දක්වා (කි.මී. 60.3)

මෙම මධ්‍යම අධිවේගී මාර්ගය ආරම්භ වන්නේ කඩවත අධිවේගී අන්තර් හුවමාරුවෙනි. කඩවතින් ඇරඹෙන අධිවේගී මාර්ගයේ ඊළඟ අන්තර් හුවමාරුව ගම්පහ වන අතර එතැනින් පසුව වේයන්ගොඩට ද මීරිගම දකුණු හුවමාරුවට ද ගමන් කළ හැක.

මධ්‍යම අධිවේගයේ සිව්වන අදියර වන කුරුණෑගල සිට දඹුල්ල මාර්ගයේ මේ වනවිට අවශ්‍ය සියලූම මූලික කටයුතු නිම කර ඇත. සිව්වන අදියර කිලෝමීටර් 58.6කින් යුක්ත වන අතර එහි අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5කි. රිදීගම, මැල්සිරිපුර, ගලේවෙල හා දඹුල්ලේ පිවිසුම් මාර්ග 2ක් ලෙසිනි. දඹුල්ලේ එක් පිවිසුමක් ඒ – 9 මාර්ගයේ දඹුල්ල මහනුවර මාර්ගයටත් අනෙක් පිවිසුම දඹුල්ල හබරණ මාර්ගයටත් විවෘත වීමට නියමිතය. ඒ සඳහා ආයෝජනය රුපියල් බිලියන 150කි.

මෙම ව්‍යාපෘතියේ විශේෂිතම කොටස වන්නේ 3 වන අදියරයි. ඒ පොතුහැර සිට ගලගෙදර – මහනුවර දක්වා කිලෝමීටර් 32.5 කි. මාර්ගයේ 3 වන අදියර යටතේ පොතුහැර සිට ගලගෙදර දක්වා මාර්ගය මහනුවර දක්වා යන වාහන සඳහා පහසුකම් සලසනු ඇත. දිගින් කිලෝමීටර් 32.5ක් වන මේ මාර්ගයේ රඹුක්කන – ගලගෙදර අන්තර් හුවමාරු මධ්‍යස්ථාන ලෙසින් ඉදිකෙරේ. මේ මාර්ගයේ ඉදිකිරීම් සඳහා රුපියල් බිලියන 159ක් වැය කිරීමට යෝජිත වුවත් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැදිහත්වීම මත ජපන් සමාගම ඒ සඳහා රුපියල් බිලියන 25ක් අඩුකර ඉදිකිරීමට එකඟ වී ඇත.

පොතුහැරින් ආරම්භ වන තුන්වන අදියර අඩි 300ක පමණ උසක සිට අඩි 1200ක පමණ උසක් දක්වා දිවෙන කඳුකර මාර්ගයකි. මෙම මාර්ගය සඳහා බිං ගෙවල් 3ක් ඉදිකළ යුතුවන අතර කොන්කී‍්‍රට් කණු මතින් ඉහළින් ඉදිවෙන පාලම් මාර්ග කොටස් ද මෙහි අන්තර්ගත වේ. මේ මාර්ගයේ ඉහලින් ඉදිවන මාර්ගයන්හි සම්පූර්ණ දිග කිලෝමීටර් 5.05 කි. එසේම ඉහළ උසකින් ඉදිවන දීර්ඝ පාලම් 14ක් ද මේ මාර්ගයට අයත් වේ.

කොළඹ – දඹුල්ල – මහනුවර සම්බන්ධ කෙරෙන මේ මධ්‍යම අධිවේගයෙන් රටට ඉතා වැදගත් තැනක් හිමිවේ. ඉන් කොළඹ සිට පැය එකහමාරකින් දඹුල්ලට ද, කොළඹ සිට මහනුවරට පැයකදී පමණ ද ළඟාවීමට හැකියාව ලැබෙනු ඇත. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිරියේදී යාපනය තෙක් දීර්ඝ කිරීමෙන් පසුව පැය 3ක් වැනි කාලයකදී කොළඹ සිට යාපනයට ළඟාවීමට හැකියාව ලැබෙනු ඇතැයි මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් පේ‍්‍රමසිරි මහතා හෙළිදරව් කළේය.

අනාගතයට පාර පෙන්වන අධිවේගී මාර්ගය දැන් රට මැදට

මේ සියල්ලම රටක සංවර්ධනයට විශාල පිටිවහලක් වන එක රහසක් නොවේ. රටේ ජනතාවගේ යහපත උදෙසා මෙවැනි සංවර්ධන කටයුතු සිදුකළ යුතු බව කවුරුත් දන්නා කාරණයකි. රටේ පවතින මාර්ග අවහිරතාව වළක්වා ගැනීමට මෙවැනි මාර්ගවල අවශ්‍යතාවය දැඩිව දැනෙන යුගයක් හෙයින් මෙවැනි ව්‍යාපෘති සිදුකිරීමෙන් රටට එන ආදායම් ත්ත්වයද ඉහළ යනු ඇත. මෙම මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ඉදිකිරීමත් සමගම කොළඹ සිට යාපනය බලා යනඅයද, කොළඹ සිට අනුරාධපුරයටත් කොළඹ සිට මහනුවර බලා යන අය ද තම තමන්ගේ පහසුව වෙනුවෙන් කාලය ඉතිරිකර ගනිමින් ඉක්මන් ගමනින් ගමනාන්තයට යෑමට අධිවේගී මාර්ගය භාවිත කළ ද අධිවේගී කෙසේ වෙතත් මන්දගාමී ගමනාන්තයකට මග පාදාගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ.

මෙයට හේතුව ලෙස බොහෝ දෙනකු පවසන්නේ පස්යාල මංසන්ධිය සංවර්ධනය නොවීමත් මීරිගම පිවිසුම් මර්ගයට එන ප‍්‍රධාන මාර්ගය පළල නොවීමත් නිසා වාහන තදබදය ඇතිවී තිබෙන බවයි. එසේම විල්වත්ත දුම්රිය මාර්ගයේ රේල් ගේට්ටුව සහ මීරිගම නගර මධ්‍යයේ දිවුලපිටිය මාර්ගයේ පිහිටි රේල් ගේට්ටුවත් මෙම තදබදයට විශාල ලෙස බලපා ඇති බවත් බොහෝ දෙනකුගේ මතය වී ඇත.

මීරිගම නගරයේ අතුරු මාර්ගවල කිසිදු සංවර්ධන කටයුත්තක් කර නොමැතිකමින් මෙම වාහන තදබදය ඇති වී තිබෙන බවත් මේ නිසා නගරයේ ව්‍යාපාරික කටයුතුවලට මෙන්ම ප‍්‍රදේශයේ ජනතාවට ද මේ තත්ත්වය තදින්ම බලපා ඇති බවත් මීරිගම නගරයේ වෙළෙඳ ව්‍යාපාරික මහතකු දිවයින හා පැවසීය.

තවද ඒ මහතා පැවසුවේ ගුවන් පාලමක් අවශ්‍ය බවය. ගුවන් පාලමක අවශ්‍යතාවය මීට පෙර සාකච්ඡා කළ ද එවැන්නක් කි‍්‍රයාත්මක කිරීමට මේ වන තෙක් කිසිදු කතාබහක් හෝ දේශපාලන අධිකාරියේ මැදිහත්වීමක් හෝ නොමැතිකමින් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවත් මේ නිසා ව්‍යාපාරික කටයුතුවලට විශාල තර්ජනයක් වී ඇත. එසේම මීරිගම නගරයේ පවතින තත්ත්වය නිසා ගම්වල සිටින ජනතාව නගරයට එනවා වෙනුවට උප නගර භාවිතා කරමින් තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කරන බව ප‍්‍රදේශවාසීහු පවසති. තවද හදිසියේ ගිලන් වූ අයකු ගිලන් රථයෙන් රෝහල කරා රැගෙන ඒමත් විශාල
ගැටලූවක් වී ඇති බවද ඔවුන්ගේ ජීවිත ද අවදානමකට ලක්වන බවද ඔවුන් පෙන්වාදෙන අතර මෙම තත්ත්වය මගහරවා ගැනීමට නම් හැකි විගසින් පළමු අදියරේ අධිවේගී මාර්ගය සාදා නිම කිරීම කඩිනමින් කළ යුතු දෙයක් බවද ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙති.

සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment