අනාගතයේ රට වෙනුවෙන් වැදගත් තීරණ රැසක් ගන්නවා – ඩලස් ඇතුළු ස්වාධීන වූ 12 දෙනා කියති

124

නව දේශපාලන ගමනක් ආරම්භ කරන බව ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජි. ඇල්. පීරිස් මහතා පෙරේදා (20දා) අනුරාධපුරදී පැවසිය.

සිය ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැනුවත් කොට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ ස්වර්ණමාලි සෑ රදුන් වන්දනා කර ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනා මේ බව පැවසූහ.

අනාගතයේ රට වෙනුවෙන් වැදගත් තීරණ රැසක් ගන්නවා - ඩලස් ඇතුළු ස්වාධීන වූ 12 දෙනා කියති

මහාචාර්ය ජී. ඇල්. පීරිස් සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනා පළමුවෙන් අනුරාධපුර අටමස්ථානාධිපති උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්හ. පසුව ජයශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිකාරි නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්හ. අනතුරුව එම මන්ත්‍රී කණ්ඩායම ස්වර්ණමාලි සෑ රදුන් වන්දනා කොට ආශිර්වාද ලබා ගත් අතර පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්ය මහාචාර්ය ජී. ඇල්. පීරිස් මහතා මෙසේ පැවසීය.

“මේක ගමනක ආරම්භයක්. නුදුරු අනාගතයේ රට වෙනුවෙන් වැදගත් තීරණ කීපයක් ගැනීමට අපට සිදු වෙනවා. ජීවමාන බුදුන් වහන්සේ වැඩ සිටින බවට සැලකෙන ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහා සෑය අබියසින් සහ පැරණි වාරි සංස්කෘතිය සංකේතවත් කරන රජරට ඓතිහාසික අනුරාධපුරයෙන් අපේ මේ ගමනේ වැඩ කටයුතු ආරම්භ කිරීම වඩාත්ම උචිතයි කියා අපි විශ්වාස කරනවා. අපට ඒ සේරටම වඩා වැදගත් වන්නේ ත්‍රිවිධරත්නයේ ආශිර්වාදයයි. ඒ නිසයි අපේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැනුවත් කොට ආශිර්වාද ලබා ගැනීමට අප මන්ත්‍රී කණ්ඩායම මෙහි පැමිණියේ”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය චරිත හේරත්, චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා සහ කේ. පී. කුමාරසිරි යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment