අනිද්දා මැදියම් රැයේ සිට පළාත් පාලන ආයතන කාලය ඉවරයි

237

පළාත් පාලන ආයතන 340ක් කොමසාරිස් පාලනයට
ඇල්පිටියට ඔක්තෝබර් දක්වා කාලය
මන්ත්‍රීලාට මාර්තු දීමනා දින 19කට විතරයි
හිටපු සභාපතිලාට බලය පැවරීමක් නැහැ
නිල වාහන භාරදෙන ලෙස දැනුම් දෙයි

මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන තුන්සිය හතළිහක නිල කාලය අනිද්දා (19 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට නිල වශයෙන් අවසන් වන අතර එදින සිට එම ආයතනවල පාලනය නාගරික කොමසාරිස් හා පළාත් කොමසාරිස්වරුන් හා සභා ලේකම්වරුන් යටතට පත්වේ.

පළාත් නවයේ ආණ්ඩුකාරවරුන්ගේ අධීක්‍ෂණය යටතේ එය සිදු කිරීමට නියමිතය. මෙම පළාත් පාලන ආයතන තුන්සිය හතළිහේ නිල කාලය එලෙස නිල වශයෙන් අවසන් වුවත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පමණක් ලබන ඔක්තෝබර් මාසය දක්වා බලගැන්වී තිබේ. 2018 පෙබරවාරි මස 10 වැනි දින පැවැති පළාත් පාලන මැතිවරණයේ දී ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද පැවැත්වීමට නොහැකි විය. අදාළ අතුරු තහනම් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් 2018 අගෝස්තු මස 30 වැනිදා ඉවත් කළ පසු ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වූයේ 2019 ඔක්තෝබර් මස 11 වැනිදා ය. එනිසා එහි නිල කාලය අවසන් වන්නේ ලබන ඔක්තෝබර් මස ය.

මේ අතර අනිද්දා (19 වැනිදා) මධ්‍යම රාත්‍රියේ ්දී නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන 340 හි සිටින සභිකයන්ට ගෙවනු ලබන මාසික දීමනාව මාර්තු 01 වැනිදා සිට 19 වැනිදා දක්වා දින දහනවයකට පමණක් ගෙවන ලෙස පළාත් පාලන මහ නගර, නගර සභා, සහ ප්‍රාදේශීය සභාවල කොමසාරිස්වරු, ලේකම්වරුන්ට දැනටමත් දැනුම් දී ඇත.

පළාත් පාලන ආයතන තුන්සිය හතළිහක නිල කාලය මාර්තු 19 වැනිදා අවසන් වන බැවින් දැනට ඒ ඒ ආයතනවල ගෙනයන නගරාධිපතිවරුන් සභාපතිවරුන් යටතේම තවදුරටත් පවත්වාගෙන යෑමට විවිධ පාර්ශ්ව යම් යම් යෝජනා කළ ද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඊට නීති ප්‍රතිපාදන නොමැතිවීම නිසා ඒ ඒ ආයතන කොමසාරිස් හා ලේකම්වරුන් යටතට පත් කිරීමට සිදුවී ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පළාත් ආණ්ඩුකාරවරුන් අරලියගහමන්දිරයට ඉකුත් 14 වැනිදා කැඳවා නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතනවල ඉදිරි කටයුතු පවත්වාගෙන යෑම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

එහිදී පැවැති සාකච්ඡාවේ දී තීරණය වී ඇත්තේ පළාත් නවයේ සිටින ඒ ඒ ආණ්ඩුකාරවරුන්ගේ ඍජු අධීක්‍ෂණය යටතේ ව්‍යවස්ථානුකූලව ආයතනවල බලතල කොමසාරිස් හා ලේකම්වරුන් යටතට පත් කළ යුතු බවය.

මෙම සාකච්ඡාව සඳහා ටිකිරි කොබ්බෑකඩුව (සබරගමුව), වසන්ත කරන්නාගොඩ (වයඹ), එම්. ජේ. එම්. මුසම්මිල් (ඌව), මහීපාල හේරත් (උතුරු මැද), විලී ගමගේ (දකුණ), ලලිත් යූ. ගමගේ (මධ්‍යම) අනුරාධා යහම්පත් (නැඟෙනහිර), රොෂාන් ගුණතිලක (බස්නාහිර), ජීවන් ත්‍යාගරාජා (උතුර) යන ආණ්ඩුකාරවරුන් මෙන්ම අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුවින්න සහ අග්‍රාමාත්‍ය නීති උපදේශක ආචාර්ය ජයතිස්ස ද කොස්තා යන මහත්වරු ද සහභාගි වී සිටියහ.

මේ අතර පළාත් පාලන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසුවේ දකුණු පළාතේ පළාත් පාලන ආයතනවලට තේරී පත්ව සිටින සභිකයන්ගේ ඉන්ධන සහ දුරකථන දීමනා හැර මාසික දීමනා වෙනුවෙන් පමණක් මසකට රුපියල් එක්කෝටි අසූහය ලක්‍ෂයකට අධික මුදලක් ගෙවීමට සිදුව ඇති බවය. මාසික දීමනා සභා අරමුදලින් ගෙවූ පසු එම මුදල පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් පළාත් පාලන ආයතන වෙත ප්‍රතිපූරණය කරන බවද එම නිලධාරියා පැවසීය.

එම නිලධාරියා වැඩි දුරටත් පැවසුවේ සියලුම සභිකයන්ගේ දීමනා ද අනෙක් නිලධාරීන්ගේ වැටුප් සමග ප්‍රතිපූරණය කරන අතර සාමාන්‍යයෙන් සෑම මසකම විසිවන දිනෙන් පසුව හැම පළාත් පාලන ආයතනයකට ම සියයට සීයක් ප්‍රතිපූරණය කරන බවය.

දකුණු පළාතේ පළාත් පාලන ආයතන හතළිස් නවක් තිබෙන අතර පසුගිය 2018 දක්වා ඒවායේ සිටි සභික සංඛ්‍යාව 584 කි. එහෙත් 2018 වසරේ පවත්වන ලද පළාත් පාලන මැතිවරණයේ දී තවත් 557ක් අලුතෙන් පත්කරගෙන ඇත. ඒ අනුව දකුණු පළාතේ පළාත් පාලන ආයතන 49න් දැන් සිටින සභික සංඛ්‍යාව 1141 කි.

මහ නගර සභාවක නගරාධිපතිවරයාගේ මාසික දීමනාව රුපියල් 30,000ක් වන අතර නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ දීමනාව රුපියල් 25,000කි. සභිකයකුගේ දීමනාව රුපියල් 20,000කි. නගර සභාවක සභාපතිවරයාගේ හා ප්‍රාදේශීය සභාවක සභාපතිවරයාගේ මාසික දීමනාව රුපියල් 25,000ක් වන අතර උප සභාපතිවරයාගේ මාසික දීමනාව රුපියල් 20,000 කි. සභිකයකුගේ දීමනාව රුපියල් 15,000කි.

නගර සභාවක සහ ප්‍රාදේශීය සභාවක සභාපතිවරුන්ට උප සභාපතිවරුන්ට සහ සභිකයන්ට රුපියල් 3000ක ඉන්ධන දීමනාවක් ද සභාපතිගේ ජංගම දුරකථන දීමනාව ලෙස රුපියල් 2000ක් ද උප සභාපතිගේ ජංගම දුරකථන දීමනාව ලෙස රුපියල් 1500ක් ද සභිකයකුගේ දුරකථන දීමනාව ලෙස රුපියල් 1000ක් ද හිමිවේ.

සියලුම පළාත් පාලන ආයතනවල කාලසීමාව 10 වැනි දින අවසන් වුවද ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල කාලය ඔක්තෝබර් 1 වැනි දින දක්වා පවතී.

ශිරාන් රණසිංහ, අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment